"රාවණා 1" අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත

අප්‍රේ 18, 2019

    ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් නිර්මාණය කරනු ලැබු 'රාවණා 1' චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ශ්‍රී ලංකා වේලාවෙන් අද (18) අලුයම 2.16ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබීය.

    අතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කළ තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේ යන සිසුන් දෙදෙනා ජපානයේදී මෙය නිර්මාණය කර තිබේ. එම චන්ද්‍රිකාව පසුගිය පෙබරවාරි 18 වන දා ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (Japanese Aerospace Exploration Agency - JAXA) වෙත භාර දුන්නේය. එය රැගත් රොකට්ටුව ඇමෙරිකාවේ වර්ජිනියාහිදී හෙට අලුයම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා යැවීමට සියලු කටයුතු යොදා තිබේ.නාසා ආයතනය නිවේදනය කළේ, රොකට්ටුව පිටත් කිරීම සඳහා යහපත් කාලගුණික තත්ත්වයක් පවතින බවය.

    නාසා ආයතනයේ Cygnus නමැති භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය මගින් අදාළ චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ඇති. "රාවණා 1" යනු ඝනක චන්ද්‍රිකාවකි. (cube satellite). ඝනක චන්ද්‍රිකාවක් යනු විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් (Classical Satellite) නොවන අතර ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවකි. මෙවැනි චන්ද්‍රිකා නිර්මාණය කිරීමට මෙන් ම කක්ෂගත කිරීමට ද වැය වන මුදල සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතී.

    ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් "රාවණා 1" කක්ෂගත කිරීමට නියමිතයි. එහි අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා පැවතිය හැකි බවට විශ්වාස කෙරේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 අප්‍රේල් 2019 07:47

    Latest News