ගෝඨාභයගේ අමෙරිකා නඩුවේ පැමිණිල්ල විවෘත කරයි . . . . පිළිතුරු දීමට සති 03ක්

අප්‍රේ 17, 2019

    ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව, කැලිෆෝනියාහි දිස්ත්‍රික් අධිකරණයක ගොනු කරන ලද නඩුවේ පැමිණිල්ල, එහි විනිසුරු විසින් ඊයේ විවෘත කරනු ලැබූ බව, යුක්තිය හා වගවීම සඳහා වන මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා.

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් වූ පැමිණිල්ල, අධිකරණය හමුවට ඉදිරිපත් කළේ එම සංවිධානයයි. ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන, අහිංසා වික්‍රමතුංග වෙනුවෙන්, අදාල නඩුව පැවරීමට යුක්තිය හා වගවීම පිළිබඳ මධ්‍යස්ථානය පියවර ගත්තා. එම මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ආකාරයට නඩුවේ චෝදනාවලට පිළිතුරුදීම සඳහා චූදිතයාට සති 3 ක කාලයක් හිමිවනවා. එම සංවිධානය ප්‍රකාශ කරන්නේ පෞද්ගලික විමර්ශකයකුගේ සහයෙන් නඩුවට අදාළ නොතීසිය ගෝඨාභය රාජපක්ෂ මහතාට කැලිෆෝනියාවේ දී බාරදුන් බවයි.

    එහෙත් රාජපක්ෂ මහතා එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබෙනවා. එමෙන්ම මාධ්‍ය කළ විමසීම්වලදී ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ, අදාල නඩුව නිශ්ප්‍රභ කිරීමට අමෙරිකාවේ සිටින සිය නීතිවේදීන් ක්‍රියා කරමින් සිටින බවයි.

    මීට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව තවත් නඩුවක් අමෙරිකාවේ ගොනුකර තිබෙනවා. දෙමළ ජාතික තරුණයෙකු වධ හිංසාවට ලක්කිරීමේ චෝදනා මත, එම නඩුව ගොනු කර ඇත්තේ කැලිෆෝනියාවේ අධිකරණයක් හමුවේ. ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණ ව්‍යාපෘතිය නමැති සිවිල් සංවිධානය අදාළ දෙමළ තරුණයා වෙනුවෙන් එම නඩුව ගොනුකර ඇති බවයි, මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

     

     

    Latest News