ජනපති ධුර කාලයේ අවසන් දිනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමට සූදානම්

අප්‍රේ 10, 2019

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සම්බන්ධයෙන් පක්ෂය තුළ සාකච්ඡා පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කර සිටියි.

     ජනාධිපතිවරයා 2020 මාර්තු 16 තෙක් ජනාධිපති ධූරය දැරුවහොත් වර්තමාන ආණ්ඩුව විසුරුවාලීමට ජනාධිපතිට බලය තිබෙන බවත් ඒ අනුව ජනාධිපතිවරණයකට පෙර මහාමැතිවරණයක් පැවැත්විය හැකි බවත් ජයසේකර මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ ඊයේ (9) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.

    එහිදී වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහ ලේකම්වරයා මෙසේ ද පැවසීය.

    ජනාධිපතිතුමාගේ ධූර කාලය අවුරුදු පහ ද හය ද කියන කාරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මීට පෙර විමසීමක් කළා. ඒ අනුව එය අවුරුදු 5 යි කියලා තීන්දුව දිලා විසඳිලා තිබෙනවා. අවුරුදු 5 පටන් ගන්නේ සහ ඉවර වෙන්නේ කවදා ද කියන එක ගැන තමයි දැන් ප්‍රශ්නේ තිබෙන්නේ.

    අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව තිබෙනවා කතානායකවරයා යම් පනතක් අනුමත කළ පසුව තමයි එය පනතක් බවට පත් වන්නේ කියලා. ඒ අනුව 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ගතහොත් ඊට කතානායකතුමා අත්සන් කර තිබෙන්නේ 2015 ජුනි මාසේ 22 වැනිදායි.

    අපිට අතීතයට බලපාන පරිදි පනත් සම්මත කළ නොහැකියි. ඒ නිසා පනතක් සම්මත වු පසුව ඒ සම්මත කළ දිනයේ සිට ඉදිරියට තමයි එය ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා 2015 ජුලි 21 ඉදලා අවුරුදු පහක් ගැන්න විට 2020 ජුනි මාසේ නැවත ජනාධිපතිවරණයක් තිබිය යුතු කාලය කියලා තමයි අපේ අදහස තිබෙන්නේ.

    ඒ ගැන මතය විමසන්න අපිට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. ජනාධිපතිතුමාට වුවත් පුළුවන්. සමාජයේ මේ ගැන විශාල සාකච්ඡාවක් තිබෙනවා. අපේ පක්ෂයේත් තිබෙනවා. එය අර්ථ නිරූපනය කළ හැකි වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට බැවින් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පක්ෂය තුළ සාකච්ඡා තිබෙනවා.

    මේ අනුව ක්‍රියාත්මක වුණොත් ජනාධිපතිතුමාට ලබන 2020 මාර්තු 16 මාසයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරවන්නට බලයක් එනවා. ඒ කාලය වන විට ජනාධිපති ධූරයේ මෛත්‍රීපාල සිරිසේන මහතා සිටියොත් ජනාධිපතිවරණ කතා නැහැ. මහමැතිවරණයක් තමයි පවත්වන්න වෙන්නේ. ඒ නිසා කාලය මේ ප්‍රශ්න විසඳා දෙයි. ජනාධිපතිතුමා පරිණත නායකයෙක් නිසා තමයි අපේක්ෂකයෙක් ගැන කතා නොකර නිහඬව ඉන්නේ යැයි හේ කීවේය.

    Latest News