ගෝඨාභයගේ නඩුව ගැන නව හෙලිදරව්වක්

අප්‍රේ 09, 2019

    ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව අමෙරිකානු අධිකරණයක නඩු පැවරීම හේතුවෙන් ඔහුගේ ජනාධිපති සිහිනය බොඳ වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා වික්‍රමතුංග අමෙරිකානු අධිකරණයක නඩු පැවරූ බව ඊයේ මාධ්‍ය වාර්තා කළේය. ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට ගෝඨාභය රාජපක්‍ෂ මහතා වගකිව යුතු බවට අමෙරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ සිවිල් නඩුවක් ගොනුකර තිබේ. ලසන්ත වික්‍රමතුංග දියණිය ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කළ චෝදනාවේ පිටපතක් ද ඊයේ මාධ්‍ය වෙත නිකුත් වී තිබිණ. ගෝඨාභය රාජපක්‍ෂ අමෙරිකානු පුරවැසියෙකු ලෙස සිටිමින් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාව සිටියදී මෙම ඝාතනය සිදුවූ බව ද එහි සඳහන් කර තිබිණ. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්‍ෂ අද ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් කිසිදු නීතිමය ලියවිල්ලක් මේ වනතුරු ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලැබී නොමැති බවයි. එසේ වුවද,  නිලධාරියෙකු කිසියම් ලියවිල්ලක් ගෝඨාභය රාජපක්‍ෂට බාරදීම දැක්වෙන ජායාරූපයක් ද මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

    එහිදී අදහස් ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා...

    “ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජනාධිපති සිහිනයට බෝම්බයක් අතඇරලා තියෙනවා. එතුමා හිතන් හිටියේ මේ ජනාධිපතිවරණය ළං වෙනකොට අමෙරිකාවට දුවලා ගිහිල්ලා කටයුතු ටික කරගෙන නැවතත් ලංකාවට ඇවිල්ලා ජනාධිපතිවරණයට පෙනී සිටලා ඉතාම ලෙහෙසියෙන් මේ රටේ ජනාධිපති වෙන්න පුලුවන් කියලා. නමුත් අද මේ වෙනකොට රාජපක්‍ෂ රෙජිමය යටතේ මේ රටේ ජනතාවට කරපු දේවල්වලට ඒ අවතාර ටික දැන් එතුමා පිටුපස්සේ එනවා. එතුමාගේ ජිවිතයේ දැන් බේරාගන්න තියෙන තැන් බේරා ගැනිමට කටයුතු කරනවා මිසක්, එතුමාට මේ රටේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ ඒ තියෙන කවුළුව ක්‍රම-ක්‍රමයෙන් දැන් වෙනකොට වැසී ගෙන යන බව තමයි අපට නම් පෙනෙන්නේ“ යැයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

     

     

    Last modified on අඟහරුවාදා, 09 අප්‍රේල් 2019 20:15

    Latest News