බස්නාහිර පළාත් සභාවේ අවසන් සභා වාරය අද

අප්‍රේ 09, 2019

    බස්නාහිර පළාත් සභාවේ අවසන් සභා වාරය අද පැවැත්විණ.

    එහි නිල කාලය ලබන 21 වැනිදායින් අවසන්. හෙට දකුණු පළාත් සභාවේ කාල සීමාව ද අවසන් වන අතර, ඒ අනුව පළාත් සභා 8ක නිල කාලය ලබන 21 වනවිට අවසන් වීමට නියමිතයි.

    බස්නාහිර පළාත් සභාවේ අවසන් සැසිය අද පැවැත්වුණේ, ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්. 2014 අප්‍රේල් 22 වැනි දින ආරම්භ වූ බස්නාහිර 6 වැනි සභාවේ නිල කාලය ලබන 21 වැනිදා මෙලෙස අවසන් වීමට නියමිතයි. පළාත් සභාවේ කාලසීමාව අවසන් වුවද සභාපතිවරයා නිල වශයෙන් ඉදිරියට කටයුතු කරන අතර, ආණ්ඩුකාරවරයාට පළාත් සභාවේ වගකීම පැවරෙනු ඇති. 6 වැනි පළාත් සභාවේ සභාපතිවරයා ලෙස ක්‍රියා කරන්නේ, සුනිල් විජේරත්න මහතායි.

    දකුණු පළාත් සභාවේ හෙට අවසන් වන්නේ, එහි 7 වැනි පළාත් සභා නිල කාලයයි. 2017 සැප්තැම්බර් 26 වැනි දින සබරගමුව පළාත් සභාවේ නිල කාලය අවසන් වූ අතර, නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය එම මාසයේ 30 වැනිදායින් නිමා විය. උතුරු මැද පළාත් සභාවේ නිල කාලය අවසන් වූයේ 2017 ඔක්තෝබර් 01 දිනයි. එම වසරේ ඔක්තෝබර් 08 වැනි දින මධ්‍යම පළාත් සභාවේ ද 10 වැනිදා වයඹ පළාත් සභාවේ ද 24 උතුරු පළාත් සභාවේ ද නිල කාලය අවසන් විය.

    ඌව පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තෝබර් 8 වැනි දින අවසන් වීමට නියමිතයි. කෙසේ වුවද පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු මෙතෙක් සූදානම් කර නැහැ.
    නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට සැලසුම් කිරීමත් සමඟ සීමානිර්ණ ගැටලු කිහිපයක් මතුව තිබේ. ඒවා විසඳීමට ඉකුත් වසරේ දී පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ද ඉදිරිපත් කෙරිණ.

    Latest News