මැදියමෙන් ඇරඹෙන වර්ජනයට අපි විරුද්ධයි..

අප්‍රේ 09, 2019

    රථවාහන සඳහා මෑතකදී හදුන්වා දුන් නව දඩ ගාස්‌තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස්‌ රථ සේවක සංගමය අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය සඳහා සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමයේ විරෝධය පළ කර තිබේ.

    බස් රථ බොහෝමයක් තරඟකාරි ලෙස ධාවනයේ යෙදීම ඇතුළු, මගී ජිවීත අවධානමකට ඇද දමන බොහෝ ක්‍රියාකරකම් වල නිරත වීම සහ ඒවායින් සිදුවන අනතුරු අද වන විට සුලභ කාරණයක් බවට පත් වී තිබේ.

    බස්‌ රථ සේවක සංගම් විසින් චෝදනාකරන ආකාරයට දඩ ගාස්‌තු ඉහළ දැමීම නිසා රියදුරන් අපහසුතාවට පත්වන බව මිත්‍යාවක් බව සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

    එසේම යම් බස් රථයක් මාර්ග නීති කඩකරමින් ධාවනය නොකරන්නේ නම් දඩ ගෙවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර බස්‌ රථ සේවක සංගම් විසින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරමින් ඉල්ලා සිටින්නේ රථ වාහන වැරදි කිරීමේ නිදහස බවයි එම සංගමය පවසන්නේ. එම නිසා බස් රථ සඳහා දඩ ගාස්‌තු පහළ දැමිමට රජය කටයුතු කළහොත් එය වැරදි සඳහා දෙන අනුබලයක් බව ද ඔවුන් පවසයි.

    එම නිසා මගී ජිවිත ආරක්ෂා කරගැනිම වෙනුවෙන් දඩ අයකරගැනිමෙන් නොනැවතී, දිගු කාලීන සහ තිරසාර විසඳුම් හඳුන්වා දීමට රජය විසින් කටයුතු කළ යුතු බව ද, බස් රථ සඳහා දඩ ගාස්‌තු පහළ දැමිම කිසිසේත්ම නොකල යුතු බව ද සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමයේ ලේකම් ගැමුණු පරණවිතාන මහතා පවසයි.

     

    Last modified on අඟහරුවාදා, 09 අප්‍රේල් 2019 17:52

    Latest News