කෙහෙළියගෙන් කෝටි 10ක් ඉල්ලා දිසා අධිකරණයට පෙත්සමක්

අගෝ 20, 2024
    ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කමක් සිදු කිරීමෙන් පසුව රෝහලින් ලබා දුන් ඖෂධ භාවිතා කිරීම හේතුවෙන් ඇස් පෙනීම අහිමි වූ බවත් ඒ වෙනුවෙන් එවක සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු වග උත්තරකරුවන් ගෙන් රුපියල් කෝටි 10 බැගින් වන්දි අය කරදෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පුරවැසියන් තුන් දෙනෙකු විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු ගොනුකර තිබෙනවා.

    කඳපොළ ප්‍රදේශයේ පදිංචි එම්. රාජරත්නම් ඇතුළු තුන්දෙනෙකු විසින් මෙම පැමිණීලි ඉදිරිපත් කළා.

    එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, එම අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන ඇතුළු 11 දෙනෙකු නම් කර තිබෙනවා.
    පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන් නුවරඑළිය මහ රෝහල ඇතුළු රෝහල්වල
    ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සිදුකළ බවයි.
    ඉන් පසුව තමන්ට රෝහලින් Prednisolone Acetat නමැති ඖෂධය ලබාදුන් අතර එම ඖෂධය ඇසට යෙදූ බවත් ඔවුන් ප්‍රකාශ කළා.
    ඉන් අනතුරුව ඇසේ වේදනාවක් හටගත් අතර කරකැවිල්ලක් ඇතිවූ බවත් සඳහන් කරන පැමිණිලිකරුවන් ඉන්පසුව ඇසේ පෙනීම අහිමි වූ බවත් ප්‍රකාශ කර තිබෙනවා.
    රෝහලින් ලබාදුන් ඖෂධ භාවිත කිරීමෙන් මෙම තත්ත්වය උද්ගත වූ බව සඳහන් කරන පෙත්සම්කරුවන් මේ හේතුවෙන් තමන්ට දෛනික රැකී රක්ෂා කටයුතු පවා ඉටුකර ගැනීමට නොහැකි වී ඇති බවත් පෙන්වා දෙනවා.
    මෙම තත්ත්වයට හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් ඔවුන්ගෙන් රුපියල් කෝටි 10 බැගින් වන්දි අය කරදෙන නියෝග නිකුත් කරන ලෙසත් පැමිණිකරුවන් විසින් කොළඹ දිසා අධිකරණය ඉදිරියේ මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.
    Last modified on අඟහරුවාදා, 20 අගෝස්තු 2024 14:51

    Latest News