චීනයේ ටියැන්චෞ -7 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය සාර්ථකව ගුවනට

ජන 18, 2024

    චීනයේ ටියැන්චෞ -7 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය ගුවන්ගත කිරීමේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක වෙයි. චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය මේ බව නිවේදනය කළේය.

    බෙයිජිං වේලාවෙන් ඊයේ (17) රාත්‍රී 10:27 ට, ටියැන්චෞ -7 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය රැගත් Long March 7 Yao-8 වාහක රොකට්ටුව චීනයේ වෙන් චං අභ්‍යවකාශ යානා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් සාර්ථකව උඩුගුවනට යැවිණ. විනාඩි 10 කට පමණ පසු, අභ්‍යවකාශ යානය රොකට්ටුවෙන් නිසි පරිදි වෙන්වී කක්ෂයට ඇතුළු වී තිබේ.

    ටියැන්චෞ -7 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයෙන් ගගනගාමීන්ට අවශ්‍ය විවිධ ද්‍රව්‍ය, ඉන්ධන සහ පර්යේෂණාත්මක උපකරණ රැගෙන ගොස් ඇත. එසේම, චීන වසන්ත උත්සවය නිමිත්තෙන් ශෙන්චෞ-17 යානයේ ගගනගාමීන් සහ කාර්ය මණ්ඩලය වෙත අලුත් අවුරුදු සැමරුම් භාණ්ඩ ද යවනු ලැබීම විශේෂත්වයකි.

    කක්ෂයට ඇතුළු වූ යානය බෙයිජිං වේලාවෙන් අද (18) අලුයම 1:46 ට චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ටියැන්හ මූලික මොඩියුලයට සම්බන්ධ වී තිබේ.


    වාර්තාව - අරෝෂා සමරදිවාකර (රූපවාහිනී වාර්තාකරු)

    චීනයේ බෙයිජිං නුවර සිට

    Last modified on බ්‍රහස්පතින්දා, 18 ජනවාරි 2024 17:43

    Latest News