මුල් මාස 6ට සංචාරක ආදායම 173%කින් නඟී

අගෝ 02, 2023

    මේ වසරේ මුල් මාස හයක කාලයේ දී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ආදායම 173%කින් වර්ධනය වී තිබෙනවා.

    ඉකුත් ජුනි මාසයේ දී සංචාරක ව්‍යාපාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 123ක ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙන අතර එය පසුගිය වසරේ එම මාසයේ දී උපයාගත් අමෙරිකානු ඩොලර් මිලියන 45ට සාපේක්ෂව 173%ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙන්නේ.

    පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවති තත්ත්වයට සාපේක්ෂව මේ වන විට රට තුළ යහපත් වාතාවරණයක් නිර්මාණය වීම හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් ඇති වී තිබෙන අතර, පසුගිය ජුනි මාසයේ අවසානය වන විට විදෙස් සංචාරකයන් 624,874 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

    මේ වසරේ මැයි මාසයේ දී සංචාරකයන් 83,309 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර, ඊට සාපේක්ෂව ජුනි මාසයේදී සංචාරකයන් 100,388 දෙනකු පැමිණ තිබෙන බව ද පසුගිය 2022 වසරේ පළමු මාස හයක කාලයේ මෙරටට පැමිණි 411,377ට සාපේක්ෂව මේ වසරේ අනුරූප කාලපරිච්ඡේදයේදී සංචාරකයන් 624,874 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

    ඒ අනුව පසුගිය 2022 වසරේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 680ක ආදායමක් උපයා තිබෙන නමුත් මේ වසරේ එම කාලයේදී අමෙරිකානු ඩොලර් මිලියන 875ක ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

    මේ අතර පසුගිය ජුනි මාසයේදී අපනයන ඉපැයීම් 2023 වසරේ ජුනි මාසයේදී අඛණ්ඩව දෙවන මාසය සඳහා ද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.0ක් ඉක්මවා තිබෙන අතර, ආනයන වියදම පසුගිය මාසයට සාපේක්ෂව පහළ ගොස් ඇත.

    2023 වසරේ ජුනි මාසයේදී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළහි විදේශ ආයෝජනවල කැපී පෙනෙන ශුද්ධ ලාභයක් වාර්තා කර ඇත.

    අය-වැය සඳහා ලෝක බැංකුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 250ක් පමණ ලැබීම, ජුනි මස අවසන් වන විට දළ නිල සංචිත මට්ටම, 2023 වසරේ මැයි මස අවසන් වන විට පැවති එක්සත් ජනපද ඩොලර් බිලියන 3.5ට සාපේක්ෂව, එක්සත් ජනපද ඩොලර් බිලියන 3.7ක් දක්වා ඉහළ නැංවීමට හේතු විය.

    වෙළෙඳපොළ බලවේග විසින් විනිමය අනුපාතිකය තීරණය කිරීම පිළිබිඹු කරමින් ශ්‍රී ලංකා රුපියල 2023 වසරේ ජුනි මාසයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව යම් විචලනයක් පෙන්නුම් කළ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

    Latest News