හක්කපටස් තැබූ සැකකරුවෙකු අත්අඩංගුවට

ජූලි 21, 2023

    පදවිය රක්ෂිතයේ වනසතුන් සඳහා හක්කපටස් තැබූ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ප්‍රදේශවාසී තරුණ පිරිසක් විසින් ඊයේ සවස එම සැකකරු අල්ලා කැබිතිගොල්ලෑව පොලීසියට බාර දුන්නා.

    පදවිය රක්ෂිතය වන අලින් ඇතුළු වන සතුන් විශාල සංඛ්‍යාවක් ගැවසෙන ප්‍රදේශයක්. දඩයම් කිරීම සඳහා මෙලෙන පුද්ගලයින් හක්කපටස් මෙම ප්‍රදේශයේ දමා ගොස් තිබෙනවා. ඊයේ ප්‍රදේශයේ තරුණ පිරිසක් වනසතුන්ගේ ඡායාරූප ලබා ගැනීම සඳහා ගොස් සිටි අවස්ථාවක සැකකරු හක්කපටස් තබන ආකාරය දැක තිබෙනවා. ඒ අනුව, ක්‍රියාත්මක වූ ඔවුන් සැකකරු අල්ලා පොලීසියට බාරදීමට කටයුතු කළා. මේ වන විට කැබිතිගොල්ලෑව පොලීසියේ රඳවා සිටින සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. පසුගිය කාලසීමාවේ හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් ප්‍රදේශයේ වන අලි පැටවුන් විශාල සංඛ්‍යාවකට ජීවිත අහිමි වුණා. ගවයින්, සුනඛයින් වැනි සතුන්ද ඒවා ආහාරයට ගන්නා අවස්ථා සුලබව දැකිය හැකියි. එමෙන්ම, තැන තැන හක්කපටස් දමා තිබීම මිනිස් ජීවිතවලටද අනතුරක්. හක්කපටස් ආහාරයට ගන්නා කුඩා අලි පැටවුන් මියයන්ගේ දින කිහිපයක් දැඩි ලෙස පීඩා විඳිමින්. දිගින් දිගටම සිදු වන මෙම ක්‍රියාව නතර කිරීමට පියවර ගතයුතු බවයි පරිසරවේදීන් පවසන්නේ. හක්කපටස් සෑදීම සඳහා බහුලව යොදා ගන්නා චීන පටස් සඳහා යම් ක්‍රියාමාර්ගයක් ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. එමෙන්ම, මෙවැනි ක්‍රියාවල නිරතවන පිරිස්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතු බවයි පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ.

    Latest News