මත්ද්‍රව්‍ය භාවිතකරන්නන් නව කැලණි පාලමට සිදුකල හානිය

ජූලි 15, 2023

    නව කැලණි පාලමේ ආලෝකකරණ පද්ධතියට හානි කිරීම නිසා, මේ වනවිට එය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී තිබෙනවා.  

    කටුනායක අධිවේගී මාර්ගයේ තඹ කේබල් පද්ධතියට ද හානි කර ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ. මේ හේතුවෙන් රුපියල්  විසිහත්කෝටි පනස්ලක්ෂයක පමණ පාඩුවක් සිදුව තිබෙනවා. නව කැලණි පාලමේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ, 2014 වසරේ දීයි. ඒ, පෑලියගොඩ ඔරුගොඩවත්ත සහ ඉගුරුකඩේ මංසන්ධිය අසල පැවති දැඩි වාහන තදබදයට පිළියමක් ලෙසයි. රුපියල් බිලියන 50 ක මුදලක්, ඊට වැය කෙරුණා.  

    නව කැලණි පාලම ජනතාවට විවෘත කෙරුණේ 2021 වසරේ නොවැම්බර් මාසයේදී. ඒ සමග මාර්ග තදබදය අවම කිරීම, ගමනාගමන වේගය ඉහළ  නැංවීම, නඩත්තු පිරිවැය මෙන්ම විශාල මිනිස් පැය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට ද හැකි වුණා. වර්ණවත් ආලෝක රටා 200 කට අධික සංඛ්‍යාවක්  එක්කරමින් නව කැලණි පාලම ආලෝකවත් කිරීම ද සිදුකෙරුණා.

    නමුත් මේ වනවිට එම පද්ධතියට විශාල ලෙස හානි සිදුකර තිබෙනවා.  මත්ද්‍රව්‍යවලට හුරු වූ පිරිස් බහුතරයක්, ඒ සඳහා යොමු වී ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ. මේ හේතුවෙන් සිදුව ඇති පාඩුව, රුපියල්  කෝටි දෙකහමාරක්. කටුනායක අධිවේගී මාර්ගයේ තඹ කේබල් පද්ධතියට ද හානි සිදුකර තිබෙනවා.

    මේ හේතුවෙන් සිදුව ඇති පාඩුව, රුපියල් කෝටි 25 ක්. මෙලෙස මෙම දේපලවලට හානි සිදුකරන යම් පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු දන්නේ නම් හෝ ඒ බව දුටුවහොත්, 1969 දුරකතන අංකයට හෝ ආරක්ෂක අංශවලට දැනුම් දෙන ලෙස, මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    මීට පෙර ද මෙලෙස පොදු දේපොළවලට හානි සිදුකිරීමේ සිද්ධීන් වාර්තා වුණා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය රැගෙන යන පොල්දූව පාලම යට ඇති, ප්‍රධාන නල මාර්ගයේ කාන්දුවක් ඇති වූයේ ද කිසියම් පිරිසක් එම නල මාර්ගය සම්බන්ධ කරන කොටස්වල ඇණ ගැලවීම හේතුවෙන්.

    Latest News