PTL සභාපති ජෙෆ්‍රී ඇතුලු 05ක් රිමාන්ඩ්

මාර් 25, 2019

    මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය ගනුදෙනුව අත්අඩංගුවට ගත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු එම සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව්දෙනා සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි යන අය ලබන 05 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට පමුණුවන ලැබීය. එහිදී රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දන්වා සිටියේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව පරීක්ෂණ වලින් අනතුරුව එම සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගත් බව කියා සිටියේය.

    මෙම සැකකරුවන් ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබලදීම යන වැරදි සිදු කර ඇති බවට සහ ඔවුන්ට අදාළ සාක්ෂි පිළිබඳ සාරාංශයක් අධිකරණය හමුවට ගොනු කර ඇති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ දැන්වූවාය.

    සැකකාර මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපති සමරසිරි මහතා 2015 වසරේ පෙබරවාරි 27 සිදුවූ ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති බවටත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දැක්වූවාය. මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් එම සිද්ධියට අදාළ පරික්ෂණවල දී රහස් පොලීසියට පූර්ණ සහය ලබා දී ඇති බව ප්‍රකාශ කළාය.

    ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු විසිපස් වතාවක් පමණ රහස් පොලිසිය හමුවේ පෙනී සිට අවශ්‍ය කරන ලේඛන ඇතුළු සියලුම සාක්ෂි ඔවුන් විසින් සපයා දීමට පියවර ගෙන ඇති බවත් ඔවුන් කිසිදු අවස්ථාවක අධිකරණය මගහැර යන ආකාරයෙන් කටයුතු කර නොමැති බවත් නීතිඥවරුන් ප්‍රකාශ කළේය. මොවුන්ට අදාළ චෝදනා ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ ඉදිරිපත් කර තිබෙන බැවින් ඔවුන්ට ඇප දීමට අධිකරණයට බලයක් පවතින බවත් විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය.

    එබැවින් ඔවුන් ඇප මත මුදාහරින ලෙසයි එම නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කර සිටියේ මෙම සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඇප ලබාදීමට අධිකරණයට බලයක් පැවතිය ද ඇප පනතේ 14 (2)(ආ) වගන්තිය යටතේ මෙම වරද රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමට අදාළ වන බැවින් ඊට අදාළව මහජන කැළඹීම් ඇති වීමට ඉඩකඩ පවතින බව පෙන්වා දුන්නේය.

    ඒ අනුව ඔවුන්ට ඇප ලබාදීමට අධිකරණයට බලයක් පැවතිය ද ඇප පනත යටතේ ඔවුන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය ඒ අනුව ඔවුන් අප්‍රේල් 05 දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන බවට නියෝග කළාය.

    මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් අතර පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එහි අධ්‍යක්ෂවරුන් වන රන්ජන් හුළුගල්ලේ, මුත්තුරාජා සුරේන්ද්‍රන්, පුෂ්‍යමිත්‍ර ගුණවර්ධන සහ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි ද ඇතුළත් වේ.

    Last modified on සදුදා, 25 මාර්තු 2019 19:59

    Latest News