ලන්ඩන් සිට කොළඹ පැමිණෙන ශ්‍රී ලන්කන් යානයක් හදිසි ගොඩබැස්විමක

මාර් 25, 2019

    ශ්‍රි ලංකන් සේවයේ UL504 ගුවන් යානය ලන්ඩන් සිට කොළඹට පැමිණෙමින් තිබූයදී මගියෙකුගේ හදිසි වෛද්‍ය අවශ්‍යතාවක් මත රුමේනියාවේ බුකරස්ට් (Bucharest) වෙත අද හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ. 

    ගුවන් සේවය සමඟ පියාසර කරන සියළුම මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ ප්‍රතිපත්තිය අනුව හදිසි වෛද්‍ය අවශ්‍යතාවය සලකා ගුවන් කපිතාන්වරයා විසින් ගුවන් යානය ළඟම පිහිටි ගුවන් තොටුපොළ වූ බුකරස්ට් හෙන්රි කොඅන්ඩා ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ගොඩබස්සවා ඇත.

    ගුවන් යානය ගොඩබැස්සවීමෙන් පසුව ගුවන් තොටුපලේ වෛද්‍යවරු වහාම ගුවන් යානයට පැමිණ වකුගඩු රෝගයෙන් පෙළෙන බවට සැක කරන මගියා වෙත වෛද්‍ය ආධාර ලබා දුන් බව ශ්‍රී ලන්කන් සමාගම පවසයි. ඒ අනුව ගුවන් මගියාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවති.

    අන්තර්ජාතික ගුවන් සේවා නීති රීති අනුව නියමිත පියාසර කාලය ඉකුත් වීමෙන් පසු තාක්ෂණික කාර්යය මණ්ඩලයට එකදිගට පියාසර කළ නොහැකිවේ. එ අනුව ඉන්ධන පිරවුම්, නඩත්තු, ගුවන්යානා ලියකියවිලි හා ඉංජිනේරු පරීක්ෂාවන් සිදු කිරීම සඳහා බුකරස්ට් හෙන්රි කොඅන්ඩා ජාත්‍යන්තර ගුවන්තොටු පලතොටුපලේ ඉංජිනේරුවන්ට කාලයක් පිරිනැමීම අවශ්‍ය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි.

    ගුවන් යානයේ ගමන්ගත් මගීන් 195 ක් බුකරස්ට් නුවර හෝටල් වල නවාතැන් පහසුකම් ලබා දී ඇති අතර ජාත්‍යන්තර නියාමයන් අනුව ලද කාල සීමාව තෙක් ගුවන් කාර්ය මණ්ඩලය ද විවේක ගනු ඇත. ඉන් පසුව මෙම ගුවන් යානය කොළඹට ලඟා වනු ඇති බවයි ශ්‍රි ලන්කන් සමාගම පවසන්නේ.

    Latest News