හිටපු නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීම සහ අත්අඩංගුවට ගැනීම වැළකූ තහනම දීර්ඝ කෙරේ

මැයි 10, 2023

    හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අත්අඩංගුවට ගැනීම සහ ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය ජූනි මස 22 වන දා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.



    හිටපු නීතිපතිවරයා විසින් ගොනු කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්. මරික්කාර් යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා සඳහන් කළේ මෙම පෙත්සමෙහි සඳහන් කරුණු සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවයි.

    ඒ සඳහා මසක පමණ කාලයක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළා. එම ඉල්ලීමට පෙත්සම්කාර පාර්ශවය විරෝධය පළ කළේ නැහැ.

    ඒ අනුව අතිරේක සොලිස්ටර් ජනරාල් වරයාගේ ඉල්ලීමට ඉඩ දුන් විනිසුරු මඩුල්ල පෙත්සම ජුනි මස 22 වැනිදා නැවත කැඳවීමට නියම කළා.

    එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස්,ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එන්.ඕ. පෙරේරා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍යය නවරත්න නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

    පෙත්සම්කාර හිටපු නීතිපතිවරයා පවසන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශයකට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කාර්යාංශය විසින් කැඳවීමක් සිදුකර ඇති බවයි.

    තමා නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කරන ලද ක්‍රියාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලීසියට හැකියාව නොමැති බවත් ඒ තුළින් නීතිපතිවරයා සතු වරප්‍රසාද උල්ලංඝනය වීමක් සිදුවන බවත් හිටපු නීතිපතිවරයා සිය පෙත්සමෙන් පවසයි.

    එබැවින් තමන්ගෙන් ප්‍රශ්න කිරීම් සහ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔහු මෙම පෙත්සමක ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News