තැලසීමියා පාලනයෙන්, ශ්‍රී ලංකාව අසමත්ද ? 

මැයි 10, 2023

    තැලසීමියාව වළක්වා ගැනීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාව, අසමත් රාජ්‍යයක් බවට පත්ව ඇතැයි, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

    අද පැවති මාධ්‍ය හමුවකදී ළමා රෝග පිළිබඳ මහාචාර්ය සචිත් මෙත්තානන්ද මහතා මේ බව කියා සිටියා. විවාහයට පෙර තැලසීමියා ග්‍රාහකයෙකු ද යන්න සොයා බැලීමට රුධිර පරීක්ෂණයක් කර ගැනීම, සමාජ වගකීමක් බව, අවබෝධ කර නොගන්නා තෙක්, මහ තැලසීමියා රෝගය ලංකාවෙන් තුරන් කළ නොහැකි බවයි, ඔහු සඳහන් කළේ.

    සයිප්‍රසය, ඉන්දුනීසියාව, මැලේසියාව යන රටවලින් මුල්වරට හඳුනාගත් තැලසීමියා රෝගය, ඇල්ෆා සහ බීටා ප්‍රභේද දෙකකින් සමන්විතයි. එයින්, ලංකාවේ දක්නට ලැබෙන්නේ, බීටා ප්‍රභේදයයි. ශරීරයේ ජාන විකෘති වීමක් හේතුවෙන් ඇතිවන තැලසීමියා රෝගය, ප්‍රවේණිගතව ව්‍යාප්ත වනවා. අක්මාව සහ ප්ලීහාව ඉදිමීම, නිසා උදරය විශාල වීම මෙන්ම, ඇස් කහ පැහැයට හුරු වීම රෝග ලක්ෂණයි. තැලසීමියා රෝගී දරුවන් බිහිවීම වළක්වා ගැනීමට සියලු පුරවැසියන් එක්ව අවබෝධයෙන් කටයුතු කිරීම, කාලීන අවශ්‍යතාවක්.


    ලෝකයේ තැලසීමියා බහුල රටවල් අතර ශ්‍රී ලංකාව, ඉදිරියෙන් සිටිනවා. මෙරට තැලසීමියා වාහකයින්, 3% ක් සිටින බවට හෙළි වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ වසරකට තැලසීමියා රෝගී දරුවන් 2000 ක් පමණ හඳුනා ගැනෙනවා. තැලසීමියා පිළිබඳ මිත්‍යා මත රෝගය වලක්වා ගැනීමට බාධාවක් වී තිබෙනවා. එය, සමාජ ප්‍රශ්නයක් වී ඇත්තේ, තරුණ විවාහ අපේක්ෂකයන්ගේ නොසැලකිල්ල නිසා බවයි, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙන්නේ. මහ තැලසීමියා රෝගය අවම කර ගැනීමට නම්, තැලසීමියා වාහකයන් අතර සිදු වන විවාහ වළක්වා ගත යුතු බවයි, වෛද්‍යවරුන් අවධාරණය කරන්නේ.

    Latest News