“අස්වැසුම” ප්‍රතිලාභ ගෙවීම් ජූලි මස 01 සිට

මැයි 10, 2023

    “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ජූලි මස පළමු වැනිදා සිට ආරම්භ කෙරෙනවා.

    මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව, ඊට අදාළ ගැසට් පත්‍රය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුසුකම් සපුරා ඇති පිරිස, ලක්ෂ 33 ක් පමණ වනවා.

    සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 4 ක් යටතේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාබ ගෙවීම සිදු කරනු ලබනවා. ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ගෙවීමට නියමිතයි. සංක්‍රාන්තික ප්‍රතිලාභීන් ලක්ෂ 4 ක් සඳහා මාසිකව රුපියල් 2,500 බැගින් ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා ද අවදානමට ලක් වූ ප්‍රතිලාභීන් ලක්ෂ 4 ක් සඳහා මාසිකව රුපියල් 5,000 බැගින් 2024 මාර්තු 31 වැනිදා දක්වා ද ලබාදීමට නියමිතයි. දුප්පත් ප්‍රතිලාභීන් ලක්ෂ 8 ක් සඳහා මාසිකව රුපියල් 8,500 බැගින් සහ අන්ත දිළිඳු ප්‍රතිලාභීන් සඳහා මාසිකව රුපියල් 15,000 බැගින් ජූලි පළමු වැනිදා සිට වසර තුනක කාලයක් දක්වා ලබා දීමට සැලසුම් කර තිබෙනවා. දැනට සුබසාධක ප්‍රතිලාභ ලබන ආබාධිත තැනැත්තන් 72,000 ක් සඳහා මාසිකව රුපියල් 5,000 බැගින් ද, වකුගඩු ආධාර ලබන තැනැත්තන් 39,150 ක් සඳහා රුපියල් 5,000 බැගින් ද

    වැඩිහිටි ආධාර ලබන තැනැත්තන් හාරලක්ෂ 16,667 ක් සඳහා රුපියල් 2,000 බැගින් ද ලබා දෙනු ඇති. සුබසාධක ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා දිවයිනපුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 340 කින් ලැබී ඇති අයඳුම්පත් සංඛ්‍යාව 37 ලක්ෂ 12,096 ක්. මෙම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනේ තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය සියයට 91.5 ක් ඊයේ වන විට අවසන් කර තිබෙනවා. දැනට තොරතුරු තහවුරු කර ගෙන අවසන් කර ඇති අයඳුම්පත් අතරින් වැඩිම ප්‍රමාණයක් වවුනියාව දිස්ත්‍රික්කයෙන් වන අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 98 ක්. මහනුවර දිස්ත්‍රික්කයේ සියයට 96.5 ක් කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රිකවලින් සියයට 96 ක් ලෙස ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් සියයට 95.5 ක් වශයෙන් ද මේ වන විට සනාථ කර ගෙන තිබෙනවා. සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අයදුම්කරුවන් 33 ලක්ෂ 62,040 කගේ තොරතුරු මේ වන විට තහවුරු කර ගෙන ඇති බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

    Latest News