ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රටවල් 17 කින් කමිටුවක්

මැයි 10, 2023

    නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ කමිටුවේ පළමු රැස්වීමේදී ශ්‍රී ලංකාව, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විධිමත් ඉල්ලීමක් ඉදිරිපත් කළ බව,  පැරිස් සමාජය නිවේදනය කරනවා.

    ඒ, මාර්ගගත ක්‍රමය ඔස්සේ, පැවති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පළමු රැස්වීමේදීයි.

    ණයහිමි රටවල් 17 ක සහභාගීත්වයෙන් අදාළ කමිටුව පිහිටුවා ඇති අතර, ඉන්දියාව, ජපානය, ප්‍රංශය එම කමිටුවේ සම ප්‍රධානත්වය උසුලනවා. පළමු රැස්වීමේදී ශ්‍රී ලංකා බලධාරීන් සහභාගී වී ඇති අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නිල ඉල්ලීම ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා. ජපානය, ඉන්දියාව හා ප්‍රංශය මූලිකත්වයෙන් ඇරඹි මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ විශාලතම ණයහිමියා වන චීනය ඇතුළු සියලු ණයහිමියන්ට ආරාධනා කෙරුණා. චීනය, නිරීක්ෂකයෙකු ලෙස සහභාගී වූ බව, ජපානයේ මූල්‍ය නියෝජිතයෙකු වන මසටෝ කණ්ඩා ප්‍රකාශ කොට තිබෙනවා. චීනය, පූර්ණ සාමාජිකයෙකු ලෙස සහභාගීවනු ඇති බවට අපේක්ෂා කරන බවයි, මසටෝ කණ්ඩා කියා සිටින්නේ. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වෑන්ග් වෙන්බින් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී චීන මූල්‍ය ආයතන උපරිම සහය දක්වන බවයි.

    Latest News