IMF යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

අප්‍රේ 28, 2023

    අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවට අද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුණා.

    ඒ පිළිබඳ පැවති ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 120 ක් හිමි වූ අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 25 ක් පමණයි. ඒ අනුව එය සම්මත වුණේ වැඩි ඡන්ද 95 කින්. ඡන්දය විමසන අවස්ථාවේ ඒ එච් එම් ෆවුසි මන්ත්‍රීවරයා හැර සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සභාවේ රැඳී සි‍ටියේ නැහැ.  අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟත්වය පළ කිරීමත් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ අදාළ එකඟතා පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කරන බවයි.

    ඒ සඳහා විවාදයක් ලබා දෙන බවද ජනාධිපතිතුමා පැවසුවා. ඒ අනුවයි අයි එම් එෆ් එකඟතා පිළිබඳ දින 03 ක විවාදය පසුගිය බදාදා ආරම්භ කෙරුණේ. ඒ පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වුණේ අද පස්වරුවේ. ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ රැඳී සිටි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසි මහතා අයි එම් එෆ් එකඟතාවලට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.  මේ අතර විපක්ෂය නියෝජනය කළ අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ යන මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුද ඡන්දය ප්‍රකාශ කළේ යෝජනාවට පක්ෂවයි.

    Latest News