චීනයෙන් මෙරටට නව බොරතෙල් පිරිපහදු මධ්‍යස්ථානයක්

අප්‍රේ 28, 2023

    චීන ආයෝජනයක් ලෙස දිනකට බොරතෙල් ටොන් 04 ක් පිරිපහදු කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුතු පිරිපහදු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් (Qi Zhenhong) මහතා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානානක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ පැවසුවේය.

    චීන තානාපතිවරයා ඊයේ (27) අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් ද මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් ද බැහැදැක සාකච්ඡාවක නිරත විය.

    ශ්‍රී ලංකාවේ දැනට ඇති බොරතෙල් පිරිපහදුව හැටේ දශකයේ ඉදි කරන ලද එකක් බවත් චීන ආයෝජනයක් ලෙස ඉදි කිරීමට යෝජිත නව තෙල් පිරිපහදුව විවෘත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදා හැරීමේ ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් රැසක් සිදුවනු ඇති බවත් ඒ මහතා කීවේය.

    චීනය මගින් ඉන්ධන පිරිවුම් හල් 150 ක් ශ්‍රී ලංකාව තුළ විවෘත කිරීමට සැළසුම් කර ඇති බව ද තානාපතිවරයා ප්‍රකාශ කළේය.

    මෙම වසරේ දී ඇමරිකානු ඩොලර් මිලියන 120-140 අතර මුදලක් චීනය මගින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සැළසුම් කර තිබෙන බවත් ඒ ඔස්සේ නව රැකියා අවස්ථා රැසක් බිහිවනු ඇති බවත් කී ඒ මහතා හැකියාවන් ගෙන් පිරිපුන් දක්ෂ ශ්‍රී ලාංකිකයින්ට එම අයෝජන ඔස්සේ බිහිවන කර්මාන්ත සමඟ එකතු වී වැඩකළ හැකි බව ද අවධාරණය කළේය.

    තවද මේ වනවිට චීනය ඇමරිකානු ආර්ථිකය අභිබවා ගොස් තිබෙන බවද ඒ මහතා කීය.

    Latest News