අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරියෙකු බෝඩිමේදී සියදිවි නසා ගනී

අප්‍රේ 20, 2023

    අධි මාත්‍රාවෙන් යුත් ඖෂධ තොගයක් පානය කොට සියදිවි හානි කරගත් අරගලේ ප්‍රධාන ක්‍රියාකරුවකුගේ මළ සිරුරක් මුල්ලේරියාව පොලිස් වසමේ බෝඩිමකින් සොයා ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.

    මෙසේ මියගොස් ඇත්තේ නාත්තණ්ඩිය මයිලව දුටුගැමුණු මාවතේ අංක 72 /1හි පදිංචිව සිටි කරුණාරත්න මුදියන්සේලාගේ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නමැති (28) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය ප්‍රකාශ කරනවා.

    මෙම පුද්ගලයා ගෝල්ෆේස් අරගලය පෙරමුණේ සිටි ක්‍රියාකරුවකු බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.

    මොහු ගෝල්ෆේස් අරගලය ආරම්භ කිරීමට පෙර පළමු අට්ටාලය ඉදි කළ පුද්ගලයා බවත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති සංගීත ප්‍රසංගයක නිවේදකයා ලෙස පළමු වරට අරගලයේ ක්‍රියාකරුවන් ඇමතූ පුද්ගලයා බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.

    මොහු මුල්ලේරියාව පොලිස් වසමේ හිඹුටාන පටුමඟ ප්‍රදේශයේ තාවකාලික බෝඩිමක වාසය කර ඇති අතර පෙරේදා (18) මොහු සියදිවි හානි කරගෙන ඇති බවට 119 හරහා පොලිසියට ලද තොරතුරක් අනුව නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී ඇඳ මත උඩුබැලි අතට වැටී මිය ගොස් සිටි බව පොලිසිය කියයි.

    පසුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කිරීමේදී විෂාදය නමැති රෝගයට පානය කරන අධිමාත්‍රාවෙන් යුත් ඖෂධ තොගයක් පානය කිරීමෙන් මරණය සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

    ඒ අනුව මියගිය පුද්ගලයාගේ මෘත දේහය මහරගම ප්‍රදේශයේ මල් ශාලාවක තැන්පත්කොට ඊයේ (19) සවස ගොඩිගමුව පොදු සුසාන භූමියේදී භූමදාන කටයුතු සිදු කළ බව පොලිසිය පවසයි.

    Latest News