වැවේ ගිලී අතුරුදන්වූ දැරියන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනේ

නොවැ 13, 2022

    මහවැලිකඩආර වැවේ ගිලී මියගිය ඉතිරි දැරියන් දෙදෙනාගේ සිරුරු අද උදේ සොයා ගනු ලැබුවා. තිදෙනෙක් මිය ගිය අතර, එක් දැරිය‍කගේ සිරුර ඊයේ සොයා ගත්තා.

    අනතුරට ලක් වුණේ, කුරුණෑගල, පිහිඹුව ප්‍රදේශයේ පිරිසක්. ඔවුන්, සූරියවැව මහවැලිකඩආර ප්‍රදේශයේ ඥාති නිවසක දානමය පිංකමක් සඳහා පැමිණ සිටියා. අට දෙනෙකුගෙන් යුත් පිරිස මහවැලිකඩආර වැවේ අනාරක්ෂිත ඔරුවක නැගී ගමන් කිරීමේදී මෙම අනතුරට ලක් වුණා. මාස 8 ක පමණ ළදරුවෙකු ද අනතුරට ලක් වූ පිරිසට අයත්.

    එම දරුවා, ඇතුළු පස් දෙනෙකු බේරා ගත් අතර,  තිදෙනෙකු දියේ ගලී මරණයට පත් වුණා. ඔවුන් අවුරුදු 10, 17 සහ 18 වයස්වල පසුවන ගැහුණු දරුවන්. අද සොයා ගනු ලැබූ වයස අවුරුදු 17 සහ 18 දෙදෙනා එකම පවුලේ සහෝදරියන් බවයි, වාර්තා වන්නේ.

    රෝහල් ගත කළ බිළිඳා සුවෙන් පසු වන බව, පොලිසිය සඳහන් කළා. මියගිය අයගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා හම්බන්තොට මහ රෝහලට බාර දී තිබෙනවා.

    Latest News