ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වීමේ ලක්ෂණ පෙන්නුම් කරනවා - ශ්‍රී ලංකා මහබැංකුව

නොවැ 10, 2022

    2022 දෙවැනි භාගයේ මේ දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

    වසරේ මුල් භාගයේදී දැඩි බාධකවලට සහ අවිනිශ්චිතතාවන්ට මුහුණ දෙමින් ආර්ථිකය මැදිකාලීනව ස්ථාවර හා තිරසාර වර්ධන මාවතක් කරා මෙහෙයවීමේ අරමුණින් සිදු කළ බහුවිධ ආකාරයේ ප්‍රතිපත්තිමය මැදිහත්වීම් ඊට හේතුවයි.

    මෑතකාලීන ආර්ථික ප්‍රවණතා 2022 සුවිශේෂී සිදුවීම් සහ 2023 අපේක්ෂා ප්‍රකාශනය නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ කියා සිටියා. උද්ධමන අපේක්ෂා ඉහළ යාමට ඇති හැකියාව වැළැක්වීමට සහ ඉල්ලුම මත පදනම් වූ පීඩන දිගින් දිගටම පැවතීම අවම කිරීමට 2021 වසරේ අගෝස්තු මාසයේ ආරම්භ කළ දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග 2022 වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ වේගවත් කර තිබෙනවා. එම ක්‍රියාමාර්ගවල සහය මෙන්ම, සැපයුම් අංශයේ පීඩනය ලිහිල් වීම හේතුවෙන් 2022 ඔක්තෝබර් මාසයේදී උද්ධමනය අපේක්ෂිත අඩු උද්ධමනකාරී ගමන් මග හා අනුකූලව පහළ යාම ආරම්භ වුණා.

    මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමේ ක්‍රියාමාර්ග වෙළෙඳපොළ වෙත සම්ප්‍රේෂණය වීම අඛණ්ඩව පැවති දැඩි ද්‍රවශීලතා හිඟ තත්වය හේතුවෙන් වෙළෙඳපොළ පොලී අනුපාත කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණය ප්‍රමාණය සැලකියයුතු ලෙස පහළ ගියා. රාජ්‍ය ආදායම පහළ යාම සහ විදේශීය මූල්‍යන මූලාශ්‍ර සඳහා වන සීමිත ප්‍රවේශය මධ්‍යයේ බැංකු පද්ධතිය මගින් රජයට ලබා දුන් ශුද්ධ ණය ප්‍රමාණය සැලකියයුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ආර්ථිකය ස්ථාවර සහ වඩාත් තිරසාර පදනමක් වෙත රැගෙන යාමට සහය සැලසීමේ අරමුණින් රජය බදු සහ බදු නොවන ආදායම් ඉහළ නැංවීම සඳහා පියවර රැසක් හඳුන්වා දුන්නා. පහළ මට්ටමක පැවති විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මෑත මාසවල යම් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. සංචාරක ඉපැයීම්වල ප්‍රගතියක්ද වාර්තා වුණා. සැප්තැම්බර් මුල් කාලයේදී විස්තීරණ ණය පහසුකම් පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹීමත් සමග සාර්ව ආර්ථික ගැලුම් වැඩසටහනක් සඳහා අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එක්ව සිදු කරන කටයුතු බොහෝ අංශවලින් ප්‍රගතියක් පෙන්නුම් කළා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියද සාර්ථක අදියරකට ලඟා වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනනේ, 2023 වසරේ අග භාගයේ සිට මෙරට ආර්ථිකය යථා තත්වයට පත් වීමේ මාවතකට අවතීරණ වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

    Latest News