උතුරේ ජනතාවගේ ගැටලු විසඳීමට කුලවාදය ප්‍රබල ගැටලුවක්....ජනපති

මාර් 19, 2019

    සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර ජාතික සමඟිය සහ සංහිඳියාව ගොඩනැඟීමට වඩා අද ප්‍රබල ගැටලුවක් වී ඇත්තේ උතුරේ කුලවාදය අවසන් කිරීම බව ජනාධිපතිතුමා පවසයි.

    එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකා රජයේ කටයුතු පිළිබඳ පසුගිය සතියේ නිකුත් කළ නිවේදනයේ ශ්‍රී ලංකා රජය උතුරේ ඉඩම් නිදහස් කිරීම පිළිබඳ අසමත් වී ඇති බවටත් ඒ සඳහා ස්වාධින කොමිෂමක් පත්කළ යුතුව ඇති බවටත් කර ඇති සඳහන පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ එය වැරදි අවබෝධයකින් යුතුව කරන ලද ප්‍රකාශයක් බවයි. උතුරු ප්‍රදේශයේ ආරක්ෂක අංශ භාරයේ පැවති ඉඩම්වලින් 90 සියට පමණ මේ වන විට නිදහස් කර තිබෙන අතර එම ඉඩම් අදාළ ජනතාව අතට පත්ව නොමැතිවීමට ද ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කුලවාදය පදනම් කරගනිමින් එම ඉඩම් බෙදාදීමට එම ප්‍රදේශවල පිරිස් කටයුතු කිරීම බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා හා අපරාධ විද්‍යා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට අද (19) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එක්වෙමිනි.

    මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රටේ අපරාධ සහ සමාජ ප්‍රශ්නවලදී සිය දැනුම භාවිත කරමින් ඒවාට ලබාදිය හැකි විසඳුම් ලබාදීමට උගතුන් සහ විද්වතුන් ඉදිරියට පැමිණිය යුතු බවයි. සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ ථෙරවාදි ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට තමන් ගත් තීරණය මෙන්ම මත්ද්‍රව්‍ය මර්දනය උදෙසා ගෙන යන පුළුල් වැඩපිළිවෙළ උදෙසා විවිධ පිරිස් එල්ල කරමින් සිටින විවේචන පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ පුහු ඝෝෂාකාරින්ගේ හඬට රටේ යහපත් දේ යටපත් කිරීමට ඉඩ නොතබා උගතුන් සහ බුද්ධිමතුන් රට වෙනුවෙන් හඬ අවදි කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවයි.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ 2019 වසරේ සමාජවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සහ අපරාධ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කළ 166 දෙනෙකු අද ඩිප්ලෝමා ලබාගත් අතර සංකේතවත්ව 06 දෙනෙකු වෙත ජනාධිපතිතුමා අතින් ඩිප්ලෝමා සහතික පත් පිළිගැන්විණි.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, මානව සම්පත් හා සමාජ විද්‍යා පීඨයේ පිඨාධිපති මහාචාර්ය ජී.පී.එන් චන්ද්‍රකුමාර, මහචාර්ය මයුර සමරකෝන්, මහාචාර්ය ඩබ්.එස්. විජේකෝන්, මහාචාර්ය ප්‍රණිත් අබේසුන්දර යන මහත්වරුන් ඇතුළු විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    Latest News