අහුංගල්ලේ වෙඩික්කරු STF වෙඩි පහරින් ජීවිතක්ෂයට (වීඩියෝ)

ඔක් 14, 2022
  • අහුංගල්ල ප්‍රදේශයේදී ඉකුත් 12 වැනිදා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    සැකකරු පසුගියදා කළ වෙඩි තැබීමකින් ‍ත්‍රීරෝද රථ රියදුරෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

    අහුංගල්ල සංචාරක හෝටලයක් ඉදිරිපිටදී ඉකුත් 12 වැනිදා මෙම සැකකරු මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා පළා ගිය අයුරු ආවේක්ෂණ කැමරාවක පටිගත වී තිබුණා. විමර්ශනවලදී හෙළි වූයේ, ඔහු තණමල්විල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මහේෂ් ඉන්දික ප්‍රභාත් නමැති අයෙකු බවයි. පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි විශේෂ මෙහෙයුම් ඒකකය මගින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය, සඟවා ඇති ස්ථානය හෙළිදරව් කළා. බලපිටිය ප්‍රදේශයේ ලඳුකැලෑවක සඟවා තිබූ එම අවිය ගෙන වෙඩි තැබීමට සැකකරු දැරූ උත්සහයකදී පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රතිප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

    එහිදී, තුවාල ලැබූ මහේෂ් ඉන්දික නමැති එම සැකකරු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බවයි, පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ. ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු කරන්දෙණියේ සුද්දා නමැත්තාගේ සහය‍කයෙකු වන අතර, අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වී ඇති බවද පොලිසිය පවසනවා. සැකකරු සඟවා තිබූ ටී-56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හා ජීව අත්බෝම්බයක් ද සොයා ගැනුණා.

    Latest News