ත්‍රිකුණාමල වරාය ක්‍රමෝපායික වරායක් ලෙස දියුණු කළ යුතු බව ජනපති පවසයි...

ඔක් 14, 2022

    ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කරගත්තක් නොව මතු පරපුර වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    ත්‍රිකුණාමල වරාය ක්‍රමෝපායික වරායක් ලෙස දියුණු කළ යුතු බවයි, ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ.  ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ, ත්‍රිකුණාමල “ඕර්ස් හිල්” එළිමහන් භූමියේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට අනුකූලව වරාය සංවර්ධනයේදී සහ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේදී ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළා.

    ඉන්දියාවට තෙල් ටැංකි ලබාදීමේදී මතුවන විරෝධතා පිළිබඳව සිහිපත් කළ ජනාධිපතිවරයා සඳහන් කළේ, එදා එම තෙල් ටැංකි ලබාදීමට ගත් තීරණය මුළුමණින්ම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබාදුන්නේ නම්, රට ඉන්ධන අර්බුදයකට මුහුණ නොදෙන බවයි. ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම යටතේ සංවර්ධනය කිරීමට යෝජිත ස්ථාන කිහිපයක්ම ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වුණා. ත්‍රිකුණාමලය ගාන්ධි වටරවුම ආසන්නයේ පිහිටි වෙරළ තීරයේ සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිත ව්‍යාපෘති භූමිය ද ජනාධිපතිතුමා මෙහිදී සොයා බැලුවා.  ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සමග ද ජනාධිපතිතුමා අදහස් හුවමාරු කරගත්තා.

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.

    Latest News