මහ කන්නයට පොහොර බෙදා හැරීම ඇරඹේ

ඔක් 13, 2022

    එළැඹෙන මහ කන්නයේ දී වී වගා කර සති දෙකකට පසුව සිදු කෙරෙන පළමු පොහොර යෙදුම සඳහා අවශ්‍ය යූරියා පොහොර බෙදා හැරීම මේ වන විට රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම විසින් ආරම්භ කර ඇතැයි, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව සැප්තැම්බර් මස 29 සිට මෙම මස 10 දා දක්වා කාලය තුළ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් දිස්ත්‍රික්ක 07කට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 11,283.86ක් බෙදා හැර තිබේ.

    එමෙන්ම ලංකා පොහොර සමාගම විසින් බෙදා හැර ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 11,698කි. මෙවර මහ කන්නයේ ද පසුගිය යල කන්නයේ මෙන් කිලෝ ග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර මිටියක් රුපියල් 10,000ක මුදලකට ගොවීන්ට ලබා දීමට පියවර ගෙන ඇත.

    දිස්ත්‍රික්ක අනුව හෙක්ටයාර් එකකට ලබා දෙන පොහොර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 176 සිට 230ක් දක්වා ඉහළ දැමීමට මෙවර කටයුතු යොදා ඇති අතර, යළ කන්නයේ එය ලබා දුන්නේ හෙක්ටයාර් එකකට කිලෝග්‍රෑම් 100ක් වශයෙනි.

    ගොවි සංවිධාන විසින් කළ ඉල්ලීම් පරිදි මෙම යූරියා පොහොර තොග ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යැවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    අදාළ පොහොර තොග ගොවි ජනතාවට මිල දී ගැනීම සඳහා කඩිනමින් යවන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අදාළ සමාගම් දෙකට උපදෙස් දී ඇත.

    මෙවර මහ කන්නයේ වී වගා කිරීමට යෝජිත බිම් ප්‍රමාණය හෙක්ටයාර් 814,678.43කි.

    Latest News