"දරුවන් ආරක්ෂා කර ගැනීම රජයක ප්‍රමුඛ වගකීමක්" - ජනපති

ඔක් 13, 2022

    දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුව ද බරපතල වරදක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

    ඒ අනුව කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොලීසියට, ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබේ.

    ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ළමයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ඊයේ (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    “ළමයින් සහ යෞවනයන් කායික වශයෙන්, මානසික වශයෙන් සදාචාරාත්මක වශයෙන්, ආගමික වශයෙන් හා සාමාජයීය වශයෙන් පූර්ණ වර්ධනයට පත්වන බවට වගබලා ගැනීමටත්, ඔවුන් ආත්මාර්ථය පිණිස යොදා ගනු ලැබීමෙන් සහ වෙනස්කම්වලට පාත්‍ර කරනු ලැබීමෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකිවන පරිදි ඔවුන්ගේ ශුභසිද්ධිය රජය විසින් විශේෂ පරිශ්‍රමයකින් යුක්තව වර්ධනය කළ යුත්තේය” යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වන වගන්තියේ 13 වන උප වගන්තිය යටතේ ඇති කරුණු සිහිපත් කළ ජනාධිපතිවරයා දරුවන් ආරක්ෂා කර ගැනීම රජයක ප්‍රමුඛ වගකීම බව අවධාරණය කළේය.

    ශ්‍රී ලංකා පොලිසියට සහ ළමා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් වන ආයතනවලට දරුවන් සුරැකීම සම්බන්ධයෙන් වන වගකීම් පැවරීමට ද මෙහිදී පියවර ගැනිණි.

    ළමා නිවාසවල සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කෙරුණු අතර ළමා නිවාසවල සිටින විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හඳුනා ගනිමින් ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද නිලධාරින්ට දැන්වීය.

    ළමා නිවාස භාරව කටයුතු කරන පාලක පාලිකාවන්ට විධිමත් පුහුණුවක් ලබා දීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපතිවරයා එමඟින් එම දරුවන්ට මුහුණ දීමට සිදුවන ගැටලුකාරී තත්ත්වයන් මඟහරවා ගත හැකි බව ද පැවසීය.

    කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා හා රේඛීය ආයතනවල රාජ්‍ය නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    037e63b4b276ee99c6a4fdd90191927e

    Latest News