ලෝක ආර් ථිකය ලබන වසරේ දැඩි අවපාතයකට - IMF

ඔක් 07, 2022

    ලෝක ආර් ථිකය ලබන වසරේ අවපාතයක් කරා ගමන් කළ හැකි බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටර් ලීනා ජෝර් ජිහේවා පෙන්වා දෙනවා.

    ලෝක ආර්ථිකයේ මූල්‍ය අස්ථාවරත්වය වැඩි වීමේ අවදානම උපුටා දක්වමින් ඇය සඳහන් කර ඇත්තේ, 2023 වසරේ සියයට 2.9 ක ගෝලීය වර්ධනයක් සඳහා වන එම ආයතනයේ පුරෝකථනය ලබන සතියේ පහත හෙළනු ඇති බවයි.

    කොවිඩ් 19 වසංගතය, රුසියා - යුක්‍රේන අර්බුදය සහ සියලුම මහද්වීපවලට බලපා ඇති දේශගුණික විපර්යාස නිසා ඇති වූ ගෝලීය කම්පන හේතුවෙන් ලෝක ආර්ථිකයේ ඉදිරි කාලය වඩාත් නරක අතට හැරෙනු ඇති බව, ඇය පෙන්වා දෙනවා.

    රුසියා - යුක්‍රේන යුද්ධය හේතුවෙන් ලෝකය කොටස් දෙකකට බෙදී යාමෙන් පීඩා විඳීමට සිදුව ඇත්තේ, දිළිඳු ජනතාවට වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සිය කනස්සල්ල පළ කරනවා. 

    ලොව විශාලතම ආර්ථිකයන්ට හිමිකම් කියන චීනය, එක්සත් ජනපදය ඇතුළු යුරෝපයේ රටවල ආර්ථිකය මන්දගාමී වෙමින් පවතින බැවින්, නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවලින් අපනයනය සඳහා ඇති ඉල්ලුම අඩාල වී ඇති බව, ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහසයි.

    ඔවුන් පෙන්වා දෙන්නේ, දැනටමත් ඉහළ යන ආහාර සහ බලශක්ති මිල ගණන් හේතුවෙන් එම තත්වය, දියුණු වෙමින් පවතින රටවලට දැඩි සේ බලපා ඇති බවයි. 

    Last modified on සිකුරාදා, 07 ඔක්තෝබර් 2022 12:02

    Latest News