කොළඹ වාහන තදබදය අවම කිරීමට සූර්ය පැනල බෝට්ටු‍ සේවාවක්

සැප් 25, 2022

    කොළඹ නගරයේ පවතින වාහන තදබදයට විසඳුමක් වශයෙන් සූර්ය පැනල මගින් බලගැන්වෙන විශේෂ බෝට්ටු සේවාවක් බත්තරමුල්ල, දියත උයනෙන් පසුගියදා ආරම්භ වුණා. මෙවැනි බෝට්ටු සේවාවක් මෙරට ක්‍රියාත්මක වන්නේ, ප්‍රථම වරටයි. 

    කොළඹ අගනගරයට, දෛනිකව දිවයිනේ විවිධ පළාත්වලින් විශාල සංඛ්‍යාවක් ඇතුළු වනවා. මේ හේතුවෙන්, කොළඹ නගරයේ දෛනිකව පවතින්නේ, අධික රථ වාහන තදබදයක්. ඊට විවිධ අවස්ථාවන්වල විසඳුම් යෝජනා වුනත්, ඒවා සාර්ථක වුණු අවස්ථා අවමයි.

    ‍සියයට සියයක්ම සූර්ය පැනල මගින් බලගැන්වෙන මෙම බෝට්ටු සේවය වඩාත් කාර්යක්ෂම මෙන්ම, පරිසර හිතකාමී ව්‍යාපෘතියක් බවයි, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසන්නේ.

    ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ “ජෙන්සෝ පවර් ටෙක්නොලජි ප්‍රයිවට් ලිමිටඩ්” ආයතනය ඒකාබද්ධවයි. පළමු අදියර යටතේ, මෙම බෝට්ටු සේවාව බත්තරමුල්ල, දියත උයන සහ අග්ගොන, හීනැටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා ක්‍රියාත්මක වනවා.

    කොළඹ නගරයේ අභ්‍යන්තර ජල මාර්ගවලත් මෙම බෝට්ටු සේවාව ක්‍රියාත්මක කිරීමේ සූදානමක් පවතින බවයි, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ.

    සූර්ය පැනල මගින් මෙම බෝට්ටු ක්‍රියාත්මක වීම හේතු‍වෙන් ධාවනයේදී අධික ශබ්ධයක් පැනනගින්නේ නැහැ. එමෙන්ම, ඉන්ධන වැයවීමක් සිදු නොවන අතර, මේ ‍හේතුවෙන් රට හමුවේ පවතින ඉන්ධන අර්බුදයට මෙන්ම, ජලජ ජීවීන්ට ද හානියක් නොවන වඩාත් පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙසයි, මෙම නව බෝට්ටු‍ සේවාව හැඳින්විය හැක්කේ.

    Last modified on ඉරිදා, 25 සැප්තැම්බර් 2022 11:30

    Latest News