ඉකුත් මාස 8 තුල සංචාරක කර්මාන්තය කෝටි 33,210ක් උපයයි

සැප් 20, 2022

    මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ගත වූ කාලයේදී මෙරට සංචාරක කර්මාන්තයෙන් උපයාගෙන ඇති ආදායම ඩොලර් මිලියන 900ට (රුපියල් කෝටි 33210) ආසන්න වී තිබේ.

    පසුගිය අගෝස්තු මාසයේ දී පමණක් සංචාරක කර්මාන්තයෙන් උපයා ගැනීමට සමත්ව තිබෙන ආදායම ඩොලර් මිලියන 67.9ක් (රුපියල් කෝටි 2505) වන අතර ඊට පෙර මාස හතක කාලයේ දී ලබා ඇති ආදායම ඩොලර් මිලියන 825ක් (රුපියල් කෝටි 30442) බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

    ඒ අනුව මේ වසරේ මුල් මාස අටක කාලයේදී සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව උපයා තිබෙන ආදායම ඩොලර් මිලියන 892.8කි.

    පසුගිය වසරේ සංචාරක කර්මාන්තයෙන් ලබා තිබෙන ආදායමට සාපේක්ෂව මේ වසරේ ආදායම වර්ධනය කර ගැනීමට සමත්ව තිබෙන අතර විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යෑම ඊට හේතුව වී ඇත.

    පසුගිය වසර තුනක පමණ කාලයේ දී දැවැන්ත ලෙස කඩාවැටීමට ලක් වූ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අද වන විට යම්කිසි වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අතර, සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගෙන තිබීම විවිධ පාර්ශ්වයන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

    පසුගිය ජූලි මාසයේ දී විදේශීය සංචාරකයන් 47,293 දෙනෙකු මෙරට සංචාරය සඳහා පැමිණ තිබෙන නමුත් පසුගිය අගෝස්තු මාසයේ දී එම අගය පහළ යමින් විදෙස් සංචාරකයන් 37,760 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.

    පසුගිය ජුලි මාසයේ ඇති වූ දැවැන්ත සමාජ නොසන්සුන්තාවෙන් පසු රටේ තත්ත්වය සැලකිය යුතු ලෙස සමනය වී ඇති අතර සති කිහිපයකට පෙර යුරෝපීය රටවල් ගණනාවක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ සංචාරක උපදේශන ලිහිල් කිරීමට ද පියවර ගෙන තිබේ.

    Latest News