ඖෂධ ඇනවුම් තෙමසකට එකවර

සැප් 15, 2022

    ‍ඖෂධ ඇනවුම් කිරීමේ දී මසක ඇනවුම් වෙනුවට තෙමසක ඇනවුම් එකවර සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිලධාරීන් වෙත ඊයේ උපදෙස් දුන්නා.

    එමගින් ඉදිරියේ දී ඇති විය හැකි ඖෂධ හා වෛද්‍ය උපකරණවල හිඟග අවම කර ගැනීමට හැකි වනු ඇති බව, අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී සඳහන් කෙරුණා.

    මෙම හමුව කැඳවා තිබුණේ ඉදිරි වකවානුව සඳහා වන ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට අමතරව මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික ඖෂධ සැපයුම්කරුවන් පිරිසක් ද මීට එක්ව සිටියා. අමාත්‍යවරයා නිලධාරීන් උපදෙස් දුන්නේ, ඉන්දියානු ණය ආධාර වැඩසටහන සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සඳහා උපරිම ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයකින් ක්‍රියා කරන ලෙසයි. රටට වඩාත් ඵලදායි අයුරින් එම ආධාර වැඩසටහන උපරිම වශයෙන් යොදා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් දෙනු ලැබුවා. .

    ආසියානු යටිතල පහසුකම් සම්බන්ධ ආයෝජන බැංකුව සහ එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති කාර්යාලයීය ආධාර වැඩපිළිවෙළවල් යටතේ ඉදිරි මාස 6 ක් සඳහා මෙරටට අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මේ අතර, පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මුණගැසුණා. එහිදී, එම ක්‍ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබදව අමාත්‍යවරයා සහ ඔසුසැල් හිමියන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් චන්ද්‍රරත්න ‍පල්ලේගම, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News