ජාතික සභාව පිළිබඳ යෝජනාව ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවට...

සැප් 14, 2022

    පාර්ලිමේන්තුවේ ස්ථාපනයට යෝජිත ජාතික සභාව නැමති පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාව, ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ‍

    යෝජනාව, එදිනම විවාදයට ගෙන පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නා බවයි, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා කියා සිටියේ. මෙම කාරක සභාවේ සභාපතීත්වය කථානායකවරයාට හිමි වනවා. අග්‍රාමාත්‍යවරයා, සභානායකවරයා, විපක්‍ෂ නායකවරයා, ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවරයා සහ දේශපාලන පක්‍ෂවල නායකයන් තීරණය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 35 කට නොවැඩි සංඛ්‍යාවක් මේ සඳහා පත් කෙරෙනු ඇති.

    කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීම හා ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි හා මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවය ඇති කිරීම ජාතික සභාවට පැවරෙන ප්‍රධාන වගකීමක්. ලබන 21 වැනිදා රජයේ වියදම් වැඩි කර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ රජය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට අද (14) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.

    Latest News