ජේ. ආර්. ජයවර්ධන මහතාගේ “සෙන්ෆ්‍රැන්සිස්කෝ” දේශනයට වසර 71 ක්

සැප් 07, 2022

    දිවංගත ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා, “සෙන්ෆ්‍රැන්සිස්කෝ” සමුළුවේ කළ දේශනයට වසර 71 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සැමරුම් උත්සවය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේදී ඊයේ පැවැත්වුණා.

    මෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

    1951 සැප්තැම්බර් 06 වැනිදා “සෙන්ෆ්‍රැන්සිස්කෝ” සාම සමුළුවේදී එවකට ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටි ජේ ආර් ජයවර්ධන මහතා, ලෝක ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ, ජපානයට සමාව දී අන්තර් ජාතික සහයෝගීතාව පිළි ගන්නා ලෙසයි. එහිදී, බුදු වදන් පදනම් කරමින් “නහී වේරේන වේරානි” ගාථාව උපුටා දක්වමින්, ජේ. ආර්. ජයවර්ධන මහතා ගෙන ආ යෝජනාව සාමාජික රටවල් විසින් පිළිගනු ලැබුවා.

    71 වැනි සැමරුම් උත්සවය, සංවිධාන කළේ, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහල එක්වයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපන් තානාපති මිෂුකෝසි හිදෙයාකි මහතා සහභාගී වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී ජපාන තානාපතිවරයා සඳහන් කළේ, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි ස්වර්ණමය යුගය යළි ඇති කිරීමට කැපවන බවයි.

    මෙහිදී ජපාන විදේශ අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට විශේෂ ඇගයීමේ සහතිකයක් ද ප්‍රදානය කරනු ලැබුවා. සංස්කෘතිකාංග රැසකින් උත්සවය සමන්විත වුණා. ජේ ආර් ජයවර්ධන මහතාගේ පවුලේ සාමාජිකයින් ඇතුළු විශේෂ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News