IMF පකිස්තානයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනුමත කරයි

අගෝ 30, 2022

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පකිස්තානයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනුමත කර තිබෙනවා. ඒ අනුව, අමෙරිකානු ඩොලර් බිලියනයකට වැඩි ණය මුදලක්, පකිස්තානයට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සිදුකල හත්වැනි සහ අටවැනි සමාලෝචන වලින් පසුව, මෙම තීරණය ගත් බවයි, එම අරමුදල නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ. අනුමත කළ ණය මුදල වහාම නිදහස් කිරීමට ද පියවර ගන්නා බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

    මෙම ණය පහසුකම හේතුවෙන්, පකිස්තාන අයවැයට ඩොලර් බිලියන 4කට ආසන්න පහසුකමක් ලැබෙනු ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙන්නේ.

    පකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දිගුකාලීන අරමුදල් පහසුකම සඳහා 2019 වසරේ අත්සන් තැබුවා. මාස 36 ක කාලයක් සඳහා වලංගුව තිබුනු එම අරමුදල් පහසුකම 2023 ජනවාරි මාසය තෙක් දීර්ඝ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා තීරණය කළා.

    පකිස්තානය මේ වන විට ඉතා දැඩි ආර්ථික අර්බුධයකට මුහුණ දී සිටින අතර මෙම ණය හේතුවෙන් එරටට විශාල සහයක් ලැබෙනු ඇති බවයි විශ්ලේෂකයින් පවසන්නේ.

    Latest News