22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

අගෝ 22, 2022

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිදෙවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණා.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

    විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු, වෛද්‍ය ගුණදාස අමරසේකර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, තිස්ස බණ්ඩාර රත්නායක, එච්.ඩී.ජේ.කුලතුංග, බී.පී.දහනායක ඇතුළු පුරවැසියන් නව දෙනකු විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කළහ.

    එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයාට නම් කර තිබේ.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ රජය විසින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කිරිමට යෝජිත "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත " ඉකුත් 10 වනදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඉදිරිපත් කළ බවයි.

    එහි ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බවද පෙත්සම්කරුවන් චෝදනා කළහ.

    ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වීම් සිදුවන බව ද පෙත්සම්වලින් පෙන්වා දී තිබේ.

    එබැවින් අදාළ පනත් කෙටුම්පතේ ඇතුලත් වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්වලින් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Latest News