රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලු දෙනා ඒකරාශි කරගැනීම අරමුණයි - ජනපති

අගෝ 21, 2022

    රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලු දෙනා ඒකරාශි කරගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ආචාර්ය පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන් ඊයේ බැහැ දුටු අවස්ථාවේ  ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා.

    ඓතිහාසික අනුරාධපුර පුදබිම වෙත ගොස් ඊයේ ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිතුමා, අනතුරුව අනුරාධපුර සම්බුද්ධ ජයන්ති මහා විහාරය වෙත ද පැමිණියා. විහාරාධිපති උතුර මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් ජනාධිපතිතුමාට සෙත්පතා රජයේ ඉදිරි වැඩපිළිවෙළට ආශිර්වාද පළ කළා. ලොව අනෙකුත් රටවල් ජයග්‍රහණ සමග ඉදිරියට යද්දි ශ්‍රී ලංකාව පසුපසටගමන් කළේ එකමුතුව වැඩ නොකළ නිසා බවයි, ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ.

    රටේ විනය ගොඩ නැගීම පළමු කාර්ය බව පෙන්වා දුන් පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් විනයක් නොමැති රටක් කිසිදා ඉදිරියට ගමන් නොකරන බව සඳහන් කළා. උන්වහන්සේ පෙන්වා දුන්‍නේ, සමාජයේ ඉහළ ගෞරවයකට ලක්ව සිටි ගුරුවරයා උද්ඝෝෂණ කිරිමට පටන් ගැනීමත් සමග ගුරු වෘත්තියේ විනය විනාශ වී ගිය බවයි. පසුගිය සිදුවීම් සමග සමාජයේ පිරිහිගිය විනය නැවත ගොඩ නැගීමට ක්‍රියාකිරීම පිළිබඳව නාහිමියන් ජනාධිපතිතුමාට ප්‍රශංසාව පළ කළා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාමය ද වැදපුදා ගත්තා. විහාරාධිපති පූජ්‍ය ඉහළ හල්මිල්ලෑවේ රතනපාල හිමියන් ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කළා.  ර‍ට දියුණු කරන සාමුහික වැඩපිළිවෙළක් පිළිබඳව ජනතාව අපේක්ෂා සහගතව බලා සිටින බවත් එම වගකීම ඉටු කිරිමට නොපමාව නායකත්වය ගන්නා ලෙසත්, නාහිමියන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි‍යා.

    එකමුතුව වැඩ කර ජනතා ප්‍රශ්න විසඳීමේ ජනාධිපතිතුමාගේ උත්සහය අගය කළ උන්වහන්සේ ගොවිජනතාවට යහපත් ජීවන තත්වයක් උදා කර දීමට ක්‍රියාකරන ලෙසද ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා.

    අනුතුරුව අභයගිරිය රජමහා විහාරය වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‍විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි හිමියන් බැහැදැක සුවදුක් විමසා සිටියා. ප්‍රදේශයේ ආර්ථිකය නැංවිම සඳහා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට රජය හඳුනාගෙන ඇති බවත්, අනුරාධපුර, පොළොන්නරුව සහ සිගිරිය වැනි පෞරාණික නගර ආශ්‍රීතව සංචාරකයන් රඳවා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් කෙරෙහි අවධානය යොමුව ඇති බවත් ජනාධිපතිතුමා මෙහිදි ප්‍රකාශ කළා.

    ජනාධිපතිතුමා ඉසුරුමුණිය රජමහා විහාරස්ථානය වෙත ද පැමිණි අතර එහිදී විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මතව සුමංගල හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. රට හමුවේ ඇති අර්බුද සමනය කරමින් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට ජනාධිපතිතුමාට ශක්තිය‍ ධෛර්ය ලැබේවායි, උන්වහන්සේ ප්‍රාර්ථනා කළා. ඉසුරුමුණිය විහරස්ථානයේ ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිතුමාට සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කෙරුණා. විහාරස්ථානය වෙත පැමිණි සිටි දෙස් විදෙස් සංචාරකයන් සමඟ  ජනාධිපතිතුමා සුහද කතා බහක ද නිරත වුණා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහා පිරිවෙන වෙත ගොස් විහාරධිපති පූජ්‍ය අටභාගේ විමලඥාන හිමියන් ද බැහැදුටු අතර එහිදි කෙටි පිළිසඳරක නිරත වුණා.

    Latest News