අධිකරණයට අපහාස කිරීමේ නඩුවට රංජන් 12 කැඳවයි

මාර් 13, 2019

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල ජුනි මස 12 වන දා යළි කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියමක කළේය.

    අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම පැමිණිල්ල කැඳවනු ලැබීය.

    මෙහිදී අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තපා මහතා අධිකරණයට දන්වා සිටියේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් එල්ල කර තිබෙන චෝදනාව තම සේවාදායකයා ප්‍රතික්ෂේප කරන බවයි.

    අධිකරණය මඟින් ප්‍රකාශිත නඩු තීන්දුවක් හෝ නඩු විභාගයක් සම්බන්ධයෙන් තම සේවාදායකයා කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් අධිකරණයට හානිකර කිසිම දෙයක් ඔහු විසින් සඳහන් කර නොමැති බවත් මෙහිදී ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

    කෙසේ වෙතත් මීට අදාළව කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබා දෙනමෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්න මහතා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

    ඒ අනුව අදාළ පැමිණිල්ල ජුනි මස 12 වනදා කැඳවීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

    අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති මෙම පැමිණිල්ලේ සඳහන් වන්නේ ඉකුත්දා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සඳහා පත් කළ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් ඔහු සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු ඇති බවයි.

    Last modified on බදාදා, 13 මාර්තු 2019 10:55

    Latest News