වසර 20කට පසු වෙළෙඳ ශේෂයේ අතිරික්තයක්...

ජූලි 31, 2022

    වසර 20කට පසු මෙරට වෙළඳ ශේෂය අතිරික්තයක් වාර්තාකර ඇති බව, ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

    ඉකුත් ජුනි මාසයේ මෙය වාර්තාකර ඇති බවයි, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ. එම මාසය තුළ මෙරට අපනයන ආදායම ඉහළ යාමත්, ආනයන වියදම අඛණ්ඩව පහත වැටීමත් මෙම වෙළඳ ශේෂ අතිරික්තයට හේතු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ, රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව ජනතාව මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීම සඳහා මේ වන විටත් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි. වත්මන් අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත්තේ, බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය ද්‍රවශීලතාවය අවමවීම බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරනවා. කෙසේ වුවද ඉකුත් ජුනි මස මෙලෙස වෙළඳ ශේෂ අතිරික්තයක් වාර්තා වීම සුවිශේෂ සිදුවීමක්.

    ඒ අනුව 2002 අගෝස්තු මාසයට පසු වෙළඳ ශේෂ අතිරික්තයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. ලොව රටවල් මෙරට සංචාරය කිරීම සම්බන්ධයෙන් ඍනාත්මක උපදේශනයන් ලබාදී ඇති පසුබිමක සහ ඉන්ධන හිඟය, ප්‍රවාහන දුෂ්කරතා තිබියදී සංචාරක ක්ෂේත්‍රයේ ඉපැයීම්වලද ඉකුත් ජුනි මාසය තුළ වැඩි වීමක් පෙන්නුම්කර තිබෙනවා. විදේශ විනිමය ගනුදෙනුවල ඉහළ යාමක් ද පෙන්නුම්කර ඇති අතර මැයි මාසයට සාපේක්ෂව ඉකුත් ජුනි මාසයේ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ගලාඒම්වල වැඩිවීම එයට හේතුවී තිබෙනවා.

    Last modified on ඉරිදා, 31 ජූලි 2022 18:21

    Latest News