ඊයේ (24) වනවිට යූරියා පොහොර මෙ.ටො. 16272.59ක් දිවයින පුරා බෙදා හැරේ

ජූලි 25, 2022

    ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ණය යෝජනා ක්‍රමයක් යටතේ ලබාදෙන ලද යූරියා පොහොර දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ ගොවිජනතාවට බෙදා හැරීම සිදු කෙරේ.

    ඊයේ (24) දිනය වනවිට එම යූරියා පොහොර තොගයෙන් මෙ.ටො. 16272.59ක් බෙදා හැර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත.

    ඊයේ (24) දිනය පුරාම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථානවල යූරියා පොහොර නිකුත් කිරීමේ කටයුතු කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කරනු ලැබීය. එහිදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළ කරුණු අනුව මෙවර යල කන්නයේ වී වගාව සඳහා ලබාදී ඇති වැඩිම යූරියා පොහොර ප්‍රමාණය ලබා දී ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයටය. එම ප්‍රමාණය මෙ.ටො. 5380.50කි. උතුරුමැද පළාතටම නිකුත් කර ඇති යූරියා පොහොර ප්‍රමාණය මෙ.ටො. 6710.75කි.

    ඊයේ (24) දිනය වනවිට බස්නාහිර පළාතට මෙ.ටො. 956ක්, මධ්‍යම පළාතට මෙ.ටො. 511ක්, වයඹ පළාතට මෙ.ටො. 1171ක්, සබරගමුව පළාතට මෙ.ටො. 437ක්, දකුණු පළාතට මෙ.ටො. 3639ක්, උතුරු පළාතට මෙ.ටො. 497ක්, නැඟෙනහිර පළාතට මෙ.ටො. 4250ක්, උතුරුමැද පළාතට මෙ.ටො. 6710ක් සහ ඌව පළාතට මෙ.ටො. 1048ක් වශයෙන් යූරියා පොහොර බෙදා හැර තිබේ.

    ඒ අනුව 2022 යල කන්නයේ වගා කරන ලද කුඹුරු හෙක්ටයාර 304,734.94කට මෙම පොහොර නිකුත් කර ඇත. ගොවිජනතාවගේ ඉල්ලීම මත තවදුරටත් පොහොර නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව නිලධාරීහු පැවසූහ.

    පොහොර බෙදාහැරීමේදී ඉන්ධන ලබාගැනීමේ අපහසුතා උද්ගත වුවද මේවන විට රජය විසින් ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කෘෂිකර්මාන්තය සඳහා ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙලක් සකසා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී සඳහන් කළේය.ඒ අනුව ලංගම ඩිපෝ මඟින් සහ ලංකා පොහොර සමාගම සෘජුවම මැදිහත්ව ඉන්ධන මිලදී ගෙන නිකුත් කිරීම ද සිදු කරනු ලබයි.එමනිසා ප්‍රමාදයකින් තොරව අස්වනු නෙලීමත්, පොහොර බෙදාහැරීමත් සිදුකළ හැකි බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    ඉන්දීය රජය විසින් ලබා දී ඇති පොහොර තොගයෙන් මෙ.ටො. 15,000ක් තේ වගා කරන වගා කරුවන් වෙත ලබා දීමට ද තීරණය කර ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News