අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද

ජූලි 19, 2022

    ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම හෙට සිදු කෙරෙනවා.  නාමයෝජනා බාරදීම පාර්ලිමේන්තුවේදී අද සිදු කිරීමට නියමිතයි.  ජනාධිපතිධුරය වෙනුවෙන් අපේක්‍ෂකයන් සිව් දෙනෙක් ඉදිරිපත්ව සිටිනවා.

    ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගිය 14 වැනිදා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම ධුරය පුරප්පාඩු වුණා.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ජනාධිපතිවරයාගේ ඉදිරි ධුර කාලය අවසන් වන තෙක් නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම පාර්ලිමේන්තුමේන්තු මන්ත්‍රීවරුන් අතරින් සිදු විය යුතුයි. 

    ඒ අනුව, ජනාධිපති ධුරය සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රම සිංහ, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන මහත්වරු ඉදිරිපත්ව සිටිනවා. 

    ඔවුන්, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත, නාම යෝජනා බාර දීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා, තේරීම් භාර නිලධාරියා ලෙස කටයුතු කරනවා.  පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා තෝරාපත් කර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යෝජනා කිරීමට අදහස් කරන සෑම මන්ත්‍රීවරයෙකුම එලෙස, යෝජනා කිරීමට අපේක්‍ෂා කරනු ලබන මන්ත්‍රීවරයා එසේ තෝරා පත්කර ගනු ලැබුවහොත් ජනාධිපති ධුරයේ සේවය කිරීමට ඔහු කැමති බවට ලිඛිත එකඟතාවක් ලබාගත යුතුයි. 

    නාම යෝජනා බාර ගන්නා දිනයේදී නම යෝජනා කිරීමට අපේක්‍ෂා කරන මන්ත්‍රීවරයා, අනිවාර්යයෙන් එදින සභා ගර්භය තුළ සිටිය යුතුයි.  ඒ යෝජනාව වෙනත් මන්ත්‍රීවරයෙකු විසින් ස්ථිර කළ යුතු අතර, ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට අවසර හිමි වන්නේ නැහැ.  එක් මන්ත්‍රීවරයෙකුගේ නමක් පමණක් යෝජනා කර ස්ථිර කරනු ලැබුවහොත්, තේරීම් බාර නිලධාරියා විසින් එසේ යෝජනා කෙරෙන මන්ත්‍රීවරයා ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කර ගනු ලැබූ බව ප්‍රකාශයට පත් කරනු ලබනවා.

    එක් මන්ත්‍රීවරයෙකුට වඩා වැඩි දෙනෙකුගේ නම් යෝජනා වී ස්ථිර කරනු ලබයි නම්, ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ විධිවිධාන ප්‍රකාරව නාමයෝජනා බාර ගැනීමේ වේලාවෙන් පැය 48කට පසුව නොවූ දිනයක, ඡන්ද විමසීම සිදු කෙරෙන අතර, එකී දිනය හා වේලාව පාර්ලිමේන්තුව විසින් නියම කරනු ලබනවා. 

    දැනට අදහස් කර ඇති පරිදි පාර්ලිමේන්තුව 20වැනි බදාදා පාර්ලිමේන්තු රැස්වීමක් පවත්වා ජනාධිපති ධුරයට ඡන්ද විමසීම සිදු කළ හැකියි.  පුරප්පාඩු වී ඇති ජනාධිපති ධුරයට යම් මන්ත්‍රීවරයෙකුගේ නම යෝජනා කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට දක්වා ඇති නුසුදුසුකම් පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වනවා.

    Last modified on අඟහරුවාදා, 19 ජූලි 2022 10:52

    Latest News