බෝට්ටුවෙන් පනින්න හැදූ තවත් 35 ක් නාවික හමුදා භාරයට

ජූනි 24, 2022

    නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 35 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.



    ඒ, නාවික හමුදාව ශ්‍රී ලංකාවට බටහිර මුහුදු ප්‍රදේශයේ ඊයේ (23) දින සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මේ පිරිස රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

    ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ සවස් කාලයේ පානදුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර තිබේ. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පස් දෙනෙකු ද (05) ඇතුළුව පිරිමි පුද්ගලයන් 25ක්, කාත්තාවන් 04ක් හා ළමුන් 06 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

    එමෙන්ම එහිදි සිදුකරන ලද වැඩිදුර පරික්‍ෂාවේදී නාවික හමුදා භාරයට ගත් එම බහුදින ධීවර යාත්‍රාවෙහි එන්ජිමෙහි කාර්මික දෝෂයක් පවතින බවද නිරීක්‍ෂණය වී ඇති අතර, එම යාත්‍රාව දීර්ඝ මුහුදු ගමනකට නුසුදුසු තත්වයේ පවතින බවද අණාවරණය වී ඇත.

    තවද, වයස අවුරුදු 06ත් 56ත් අතර වයසේ පසුවන නාවික හමුදාව භාරයට ගත් සැකකරුවන් පිරිස, ත්‍රීකුණාමලය, මන්නාරම, මඩකලපුව, මීගමුව, කල්පිටිය සහ නුවරඑළිය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

    Latest News