2015ට අලුත් ශක්තියක් - අගමැති ගමින් ගමට

මාර් 10, 2019

    2015 දී බලයට පත්වූ ආණ්ඩුව ආරම්භ කළ සංවර්ධන වැඩපිළිවෙලේ ප්‍රතිලාභ ලබමින් සිටින අවස්තිථාවේ එක්සත් ජාතික පක්‍ෂයත්, එක්සත් ජාතික පෙරමුණත් එක්ව ආරම්භ කරන නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සමඟ එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියලූ පාර්ශ්වයන්ට ආරාධනා කර සිටි.

    සිරිකොත ගමට ගෙන යෑමේ වැඩපිළිවෙළ පානදුර මැතිවරණ කොට්ඨාශයෙන් අද (10) ආරම්භ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

    සිරිකොත ගමට ගෙන යෑමේ වැඩපිළිවෙළ අද දිනයේ පුරා කළුතර දිස්ත්‍රික්කයේ සියලූ මැතිවරණ කොට්ඨාශවල ක්‍රියාත්මක කෙරේ. ඒ වැඩපිළිවෙළ යටතේ පාක්‍ෂිකයින් මෙන්ම සෙසු ජනකොටස් මුණගැසෙමින් ඔවුන්ගේ අදහස් හා සුවදුක් විමසා බලමින් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොට්ඨාශයෙන් කොට්ඨාශයට ගියේය.

    අද පෙරවරුවේ පානදුර පැවැති වැඩසටහනෙන් අනතුරුව සිරිකොත ගමට ගෙන යෑමේ දෙවන පියවර හොරණ නගරයෙන් ආරම්භ විය. පානදුර සිට තට්ටුදෙකේ විවෘත බස් රථයකින් හොරණ නගරය වෙත වික්‍රමසිංහ මහතා පැමිණියේ මඟ දෙපස රැස්ව සිටි ජනතාවට ආචාර කරමින් ජනතාවගේ ප්‍රිති ඝෝෂා මධ්‍යයේය. සිරිකොත ගමට ගෙන යෑමේ වැඩපිළිවෙළට එක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මඟ දෙපස ඇති වෙළෙඳ ව්‍යාපාර හා නිවෙස්වලට ගොස් ජනතාව දැනුවත් කර පක්‍ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සිරිකොත ගමට ගෙන යෑමේ වැඩපිළිවෙළට එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති කබීර් හෂීම්, මහලේකම් අකිල විරාජ් කාරියවසම්, උප නායක රවි කරුණානායක, ජ්‍යෙෂ්ඨ උපසභාපති ලක්‍ෂ්මන් කිරිඇල්ල, ජාතික සංවිධායක නවීන් දිසානායක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය අජිත් පී පෙරේරා, සමාජ සවිබලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු එජාප ක්‍රියාකාරීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

    වත්මන් රජය සිදු කළේ කුමක්දැයි අද ඇතැම් අය විමසා සිටින බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගත වූ කෙටි කාලය තුළ රට සංවර්ධනය කිරීම සඳහා විශාල වැඩපිළිවෙළක් රට පුරා ක්‍රියාවට නංවා ඇති බවත් එහි ප්‍රතිඵල දැන් ලැබෙමින් තිබෙන බවත් පැවසීය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “සිරිකොත ගමට ගෙන යන වැඩසටහන අද අපි පානදුර මැතිවරණ කොට්ඨාශයෙන් ආරම්භ කළා. 2015 වසරේ අපි ආණ්ඩුව පිහිටුවා මහින්ද රාජපක්‍ෂ යුගයේ සිදු කළ විනාශය නැති කර රටටත් ජනතාවටත් අනාගතයක් ඇති කිරීමේ යුගය ආරම්භ කළා. පසුගිය කාලය තුළ අප සිදු කළ සංවර්ධන වැඩකටයුතු වල ප්‍රතිඵල දැන් ලැබෙමින් තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, මහා මාර්ග, විදුලිය, ජලය වැනි සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් අප ඇති කළා. අපේ ආණ්ඩුව මොනවද කළේ කියා අද ඇතැම් අය විමසා සිටිනවා. අපි බෙර ගහන්න ගියේ නැහැ. නිහඬව වැඩ කළා. එහි ප්‍රතිඵල ඉදිරියේදී භුක්ති විඳීමට හැකි වෙනවා. වසර හතරක් තුළ අප සිදු කළ සංවර්ධන ක්‍රියාදාමයේ ප්‍රතිඵල ලැබීම ආරම්භ වී තිබෙන මේ අවස්ථාවේ එක්සත් ජාතික පක්‍ෂයත්, එක්සත් ජාතික පෙරමුණත් එක්ව පිහිටුවන නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සමග එක් වන ලෙස සියලූ පාර්ශ්වයන්ට ආරාධනා කර සිටිනවා“ යැයි ඔහු කියා සිටියේය.

     

    Latest News