රජයේ සේවකයන්ට රට යන්න අවුරුදු 5ක නිවාඩුවක්

ජූනි 13, 2022

    වසර 5ක කාලයකට රාජ්‍ය සේවකයන්ට විදේශගත වීමට වැටුප් රහිත නිවාඩු ගත හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කර චක්‍රලේඛයක් නිකුත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (13) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ට සිය සේවා කාලය තුළ වසර 05ක උපරිමයකට විදේශගතවීම සඳහා, විදේශ ආයතනයක රැකියාවක නිරතවීම සඳහා අවස්ථාව සැලසෙනු ඇති.

    එහිදී එම නිලධාරියාගේ ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බාධාවක් ඇති නොවන බවයි, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ.

    එමෙන්ම කිසියම් රාජ්‍ය නිලධාරියකු වැටුප් රහිතව හෝ සහිතව මේ වන විටත් විදේශගතව ඇත්නම් සහ තවදුරටත් වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය විධිමත් අනුමැතිය, නැවත මෙරටට පැමිණීමකින් තොරව ලබා ගැනීමටද මෙමඟින් අවස්ථාව සැලසෙනු ඇති.

    මේ යටතේ නිවාඩු ලබා දීමේ බලය හිමිවන්නේ අමාත්‍යංශ ලේකම්වරයා වෙතයි.

    රාජ්‍ය සේවයට බාධාවක් නොවන සේ මෙවැනි ක්‍රියාදාමයක් අනුගමනය කිරීමෙන් දළ ජාතික නිෂ්පාදනයට වැඩි දායකත්වයක් ලබා දිය හැකි යැයි, රජයේ විශ්වාසය බවද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    Latest News