මිලාන් ජයතිලකගේ අල්ලස් නඩුව කල් යයි

ජූනි 09, 2022

    පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුලු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි අල්ලස් නඩුව පවත්වාගෙන යාම අනවශ්‍ය බවට එම නඩුවේ පැමිණිලිකරු විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    2012 වසරේ දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ගල් කොරියක් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 7 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබා ලබාගැනීම ඇතුළු අධි චෝදනා ඔහුට එල්ල වී තිබේ.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

    අදාළ නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී මෙම නඩුව පවත්වාගෙන යාම අනවශ්‍ය බවට පැමිණිලිකරු විසින් අල්ලස් කොමිසම වෙත දිවුරුම් ප්‍රකාශයක් බාර දී ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණය හමුවේ සදහන් කළා.

    අල්ලස් කොමිසම වෙත පැමිණිලිකරු විසින් අදාළ දිවුරුම් ප්‍රකාශය භාරදී තිබෙන්නේ දැනට මාස 06 කට පමණ ඉහතදී යැයි පෙන්වා දුන් විනිසුරුවරයා නිසි විමර්ශනයක් සිදු නොකොට එය අල්ලස් කොමිසම භාරයේ තබාගෙන සිටියේ ඇයි දැයි ප්‍රශ්න කළා.

    ඒ අනුව අදාළ දිවුරුම් පෙත්සම සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණය වෙත ජුනි මස 06 වනදා කරුණු වාර්තා කරන ලෙස නියෝග කළා.

    Latest News