රුසියානු ගුවන්යානය ගැන නීතිපතිගෙන් මෝසමක්

ජූනි 06, 2022

    රුසියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය සම්බන්ධව කරුණු දැක්වීමට නීතිපතිවරයා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබේ. 

    රුසියානු "ඒරෝෆ්ලොට්" ගුවන් සේවාවට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවේ පසුගිය ජුනි 02 වැනිදායි. මෙම වාරණ නියෝගය ලබන 16 වැනි දා දක්වා බලපැවැත්වෙන බව ද එම නියෝගයේ සඳහන් විය.

    අයර්ලන්තයේ පිහිටි සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් නමැති සමාගම විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා විසින් වග උත්තරකාර රුසියානු ගුවන් සමාගම වෙත මෙම වාරණ නියෝගය නිකුත් ‍කළේය.

    පැමිණිලිකාර සමාගම සඳහන් කරන්නේ වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගම සමග තමන්ගේ බේරුම්කරණ නඩුවක් පවතින බවයි.

    Last modified on සදුදා, 06 ජූනි 2022 11:55

    Latest News