රුසියානු ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් ඉවත් වීම වළක්වාලමින් වාරණ නියෝගයක්

ජූනි 03, 2022

    රුසියානු "ඒරෝෆ්ලොට්" ගුවන් සේවාවට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටවයාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

    අයර්ලන්තයේ පිහිටි සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං  ලිමිටඩ් නමැති සමාගම විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා විසින් වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගම වෙත මෙම වාරණ නියෝගය නිකුත් කෙරිණ. 

    මෙම වාරණ නියෝගය ලබන 16 වැනි දක්වා බලපැවැත්වෙන බව ද එම නියෝගයේ සඳහන් විය. 
    පැමිණිලිකාර සමාගම සඳහන් කරන්නේ වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගම සමග තමන්ගේ බේරුම්කරණ නඩුවක් පවතින බවයි.
    එබැවින් වගඋත්තරකාර ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවෙන්  ඉවත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පැමිණිලිකාර සමාගම අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණ. 
    එම පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා විසින් එම වාරණ නියෝගය නිකුත් කර තිබේ. 

    Latest News