දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව අත්හිටුවන ලෙස තහනම් නියෝගයක්

මැයි 31, 2022

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කළ සමාව අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

    ඒ අනුව දුමින්ද සිල්වා මහතා යළි සිර බාරයට ගන්නා ලෙසද අධිකරණය විසින් නිකුත් කළ එම නියෝගයේ සඳහන් වුණා.

    මෙම නියෝගය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අවශ්‍ය උපදෙස් හා සහය ලබාදෙන ලෙසද නීතිපතිවරයාට නියම කළා.

    දුමින්ද සිල්වා මහතාගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද අධිකරණය නිකුත් කළා.

    අදාළ ජනාධිපති සමාව අභියෝගයට ලක්කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඇයගේ මව සුමනා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරෙකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට අවසර දෙමින් ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කළා.

    අද පෙරවරුවේ පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දුමින්ද සිල්වා මහතාට පොදු සමාව ප්‍රදානය කිරීමේ දී ජනාධිපතිවරයා නිසි නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බව චෝදනා කළා.

    මරණීය දණ්ඩනය නියම වුවන් 9000කට ආසන්න පිරිසක් බන්ධනාගාර ගතව සිටියදී ඔවුන් අතුරින් පොදු සමාව ප්‍රදානය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් දුමින්ද සිල්වා තෝරා ගත්තේ කුමණ පදනමකින් ද යන ගැටලුව මතුවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියා පටිපාටිය පිළිබඳව පරීක්ෂා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අධිකරණයට බලය පැවරෙන බවද සඳහන් කළා.

    ඒ අනුව ඔහුට පොදු සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවද ජනාධිපති නීතිඥවරයා තර්ක කළා.

    පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි සෙසු නීතිඥවරු ද මෙම කරුණු අනුමත කරමින් දේශන ඉදිරිපත් කළා.

    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනාධිපතිවරයා විසින් පොදු සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාපටිපාටිය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව සඳහන් කළා.

    මෙම නඩුකරට පාදක වන පොදු සමාව ප්‍රදානය කිරීමේ දී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කොට තිබෙන ප්‍රතිපාදන අනුගමනය කර තිබෙන බවත් එබැවින් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළා.

    මෙම පෙත්සම් වල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කියා සිටියේ තම සේවාදායකයාට පොදු සමාව ප්‍රදානය කිරීමේ ජනාධිපතිවරයාගේ තීරණය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවයි.

    මෙම පොදු සමාව ප්‍රදානය කිරීම නීත්‍යානුකූලව සිදු වී ඇති බවත් මෙම ඉල්ලීම සලකා බැලීමට අධිකරණයට අධිකරණමය බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

    ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර ලබා දෙමින් ඉහත අතුරු තහනම් නියෝග නිකුත් කළා.

    ඉන් අනතුරුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 01 වනදා පැවැත්වීමට ද දින නියම වුණා.

    Latest News