ශෂී වීරවංශට ඇප

මැයි 31, 2022

    අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකය තබාගැනීමේ චෝදනාවට වසර දෙකක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    එම දඬුවමට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය අභියාචනයක් ඉදිරිපත් කර ඇති හෙයින් එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ඇය ඇපමත මුදාහරින ලෙස ඇයගේ නීතිඥවරු කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.

    විත්තිකාරියට පවතින නඩු නොමැති වීම සහ පෙර වැරදි නොමැතිවීම යන කරුණු සැලකිල්ලට ගෙන මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බව ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

    ඒ අනුව ශෂී වීරවංශ මහත්මිය රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

    එමෙන්ම ඇයගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

    ශෂී වීරවංශ මහත්මිය වෙනුවෙන් ඇප ඉල්ලීම ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා මෙම විත්තිකාරිය වරදකාරිය කොට ඇත්තේ ආගමන හා විගමන පනත යටතේ බැවින් මෙම අවස්ථාවේ ඇප පනතේ ප්‍රතිපාදන අදාළ නොවන බව සඳහන් කළා.

    විත්තිකාරිය වරදකාරිය කොට ඇත්තේ බරපතළ නොවන අපරාධයකට බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඇයට එරෙහිව පෙර වැරදි නොමැති බවත් පවතින නඩු නොමැති බවත් පෙන්වා දුන්නා.

    තමන්ට නියම කර ඇති දඬුවමට එරෙහිව ඇය අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබාදීමට විශාල කාලයක් ගත විය හැකි යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු විත්තිකාරිය ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම ඇප ඉල්ලීම සලකා බැලීමේදී වරදේ බරපතළ භාවය සහ විත්තිකාරිය ගේ පූර්ව ක්‍රියා කලාපය කෙරෙහි අධිකරණයේ අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන්නා.

    එමෙන්ම මෙම ඉල්ලීම සලකා බැලීමේදී චූදිත පිළිබඳව පමණක් නොව ‌‌‌‌‌‌‌‌‌‌‌ ඒ හරහා සමාජයට සන්නිවේදනය වන පණිවිඩය කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව ප්‍රකාශ කළ ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණයේ අභිමතය පරිදි සුදුසු තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.

    දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ විත්තිකාරියට පෙර වැරදි හෝ පවතින නඩු නොමැති බවට අධිකරණය ඉදිරියේ කරුණු අනාවරණය වී ඇති බවයි.

    ඒ අනුව ඇය ඇප මත මුදාහැරීමට තීරණය කරන බවද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

    Latest News