අර්ජුනට අධිකරණයෙන් ඇප

ඔක් 29, 2018
    කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදී තිබේ.
    ඊයේ දිනයේ දී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට ඇතුල්වීමට ගිය අවස්ථාවේ දී ඇතිවූ උණුසුම් තත්වය හමුවේ ඔහුගේ ආරක්‍ෂකයින් විසින් තැබූ වෙඩි තැබීමෙන් එහි සේවකයින් දෙදෙනෙකු මිය ගියේය.  
    මේ අනුව වෙඩි තැබීම සිදු කළ ඇමති ආරක්‍ෂක අංශයේ පොලිස් නිලධාරියාව එම අවස්ථාවේම අත්අඩංගුවට ගත් අතර, අර්ජුන රණතුංග මහතාව අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබිණ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියත්න ලියනගේ මහතා නියෝග කළේ ලක්‍ෂ පහක ශරීර ඇපයක් මත ඔහුව ඇප මත මුදා හැරීමටයි.
    නඩුව නැවත නොවැම්බර් 04 වැනිදා යළි කැඳවීමට නියමිතයි. ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ ඇමති ආරක්‍ෂක අංශයේ පොලිස් නිලධාරියාව නොවැම්බර් 12 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණ.
     

    Up date 19.00

    හිටපු ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාශය මීට සුළු වේලාවකට පෙර ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

    දෙමටගොඩ පිහිටි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට අර්ජුන රණතුංග මහතා සහ ඔහුගේ ආරක්ෂකයින් ඊයේ ඇතුළු වීමෙන් පසු, ඇති වූ නොසන්සුන්කාරී තත්වය හමුවේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලැබූ අතර දෙදෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසු ඊයේ සහ අද මිය ගියේය.

    අර්ජුණ රණතුංග මහතා පැය කිහිපයකින් තෙල් සංස්ථා පරිශ්‍රයේ සේවකයන් විසින් රඳවා තබා ගැනීමෙන් පසු පිටතට රැගෙන එනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත් වීමෙනි . ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනා ඊයේ අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    මේ අතර  හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාව අත්අඩංගුවට ගැනිමෙන් පසු ඛනිජ තෙල් සංස්ථා සේවකයින් ඊයේ සිට පවත්වාගෙන ගිය වැඩවර්ජන අවසන් කළ බවයි එහි වෘත්තිය සමිති පවසන්නේ.

     

    Last modified on සදුදා, 29 ඔක්තෝබර් 2018 20:04

    Latest News