අංගම්පොර නීත්‍යානුකූල කිරීමට කැබිනට් අනුමැතිය

මාර් 07, 2019

    අංගම්පොර සටන් කලාව නීත්‍යානුකූල සටන් කලාවක් බවට පත් කිරීමට ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ නායකත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලයේදී ඒකමතිකව අනුමැතිය හිමි වූ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාශයේ ඊයේ (06) දින පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

     එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..

    “ඌව වෙල්ලස්ස කැරැල්ලේ සෙන්පතිවරුන්ට ඉමහත් සවියක් වූ අංගම්පොර සටන් කලාව මේ වන තුරු තහනම් සටන් කලාවක් බවට පත්ව තිබුණා. ඌව වෙල්ලස්ස කැරැල්ල සමග අධිරාජ්‍යවාදීන් අංගම්පොර සටන් කලාව තහනම් සටන් කලාවක් බවට තහංචි පනවනු ලැබුවා. මෙතෙක් තහනමට ලක්ව තිබූ අංගම්පොර සටන් කලාව නීත්‍යානුකූල සටන් කලාවක් බවට පත් කරන්නට යහපාලන රජයේ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ නායකත්වයෙන් යුතු කැබිනට් මණ්ඩලයේදී ඒකමතිකව තීරණය කරනු ලැබුවා.

    ඌව වෙල්ලස්ස කැරැල්ලේ කැප්පෙටිපොළ සෙන්පතිවරයා ප්‍රමුඛ මහවිරුවන් මෑතක් වනතුරුම දේශද්‍රෝහීන් ලෙසයි හදුන්වා තිබුණේ. මෙතෙක් දේශද්‍රෝහීන් ලෙස සැලකූ එම සෙන්පතිවරුන් අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් දේශප්‍රේමීන් බවට පත් කළා. ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු විසින් තහනම් කර තිබූ මෙම සටන් කලාව නීත්‍යානුකූල සටන් කලාවක් බවට පත් කරනවා පමණක් නොව එය සුරක්ෂා කරන්නටත්, ප්‍රවර්ධනය කරන්නටත් ප්‍රගතිශීලි දේශප්‍රේමී තීන්දුවකට අප එළඹුනා. අංගම්පොර සටන් කලාව සුරක්ෂා කිරීමට අප රජයක් ලෙස සැදී පැහැදී සිටිනවා” යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 මාර්තු 2019 11:38

    Latest News